**ඉතාලියේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් හොඳම මිතුරියක රවටා රුපියල් ලක්ෂ 23ක මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ සහෝදරයකු සහ සහෝදරියක ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ විගණන අංශයේ සේවය කරන මෙම සැකකරුවන් දෙදෙනා හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය මේ බව වාර්තා කරයි. **හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, සැකකාර කාන්තාව සිය හොඳම මිතුරිය මුළා කරමින්, ඉතාලියේ සිටින තම වැඩිමහල් සහෝදරිය මාර්ගයෙන් රැකියාවක් ලබාදෙන බවට පොරොන්දුවී මෙම මුදල ලබාගෙන ඇති බවය.
ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර කාන්තාව, තමා මෙම සහෝදරයා සහ සහෝදරිය විසින් වංචාවට ලක්වූ බව අනාවරණයවීමෙන් පසු, හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ලෙන් අනතුරුව, හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකාර සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.