පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සාහ නොකරන්නැයි විවිධ පාර්ශ්වවලින් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය අතර ඇතැම් පිරිස් එම පරීක්ෂණය දේශපාලනීකරණය කිරිමට උත්සාහ ගන්නා බවද පියතුමෝ කීහ.කොළඹදී ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පියතුමෝ ඒ බව පැවසූහ.
එහිදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමෝ මෙසේද කීහ.
'පාස්කු ප්‍රහාරය මිනිස් ජීවිත 300ක් අහිමි කරපු ම්ලේච්ඡ ප්‍රහාරයක්. ඒ අතරින් බහුතරයක් පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට සහභාගීවෙන්න ගිය අය. මියගිය අය අතර හැම ආගමකටම, හැම ජාතියකටම අයිති අයත් ඉන්නවා. මේක සමූල ඝාතනයක්.මේක පිටුපස තියෙන සත්‍ය හොයාගැනීම කියන්නේ, මේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියලා ඕනෑ කෙනකුට අවබෝධ වෙන දෙයක්. නිසි විමර්ශනයක් නොවුණොත් සිද්ධ වෙන්නේ නීතියට සමහරු බිය නැහැ කියන එක. යම් අපරාධයක් කරලා සැඟවී ඉන්න පුළුවන් කියන එක. ඒ නිසා අපරාධ කිරීමට බිය නොවීම කියන එක ඔප්පු වෙනවා. මේක අපිට පිළිගන්න බෑ- මේ විදිහේ ප්‍රකාශ කරන සහ අත්අඩංගුවට ගැනීමට විවිධ අර්ථකථන දෙන අය දිහා බැලුවාම තේරෙනවා ඒ ගොල්ලන්ගේ පිටුපස තියෙන න්‍යාය පත්‍රය මොකක්ද කියලා. ඒ නිසා මේක දේශපාලනීකරණය කිරිමට අවශ්‍ය නැහැ. මේක සී.අයි.ඩී එක කරන ස්වාධීන විමර්ශනයක්. ඒ විමර්ශන ස්වාධීනව කරන්න ඉඩ දෙන එක තමයි හොඳ.
එහෙම නැතිව මේ විමර්ශන කඩාකප්පල් කරන උත්සාහ අපි දකින්නේ මේ ප්‍රහාරයෙන් ඝාතනයට පත්වුණ සහ ආබාධිත වුණ වින්දිතයන්ට සිදු කරන අසාධාරණයක් ලෙසයි. ඒ නිසා අපි හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, මේ විමර්ශනවලට බාධා කරන්න එපා. මේ විමර්ශන ඉදිරියට යන්න ඕනේ. ඒ විමර්ශනවලින් යම් ප්‍රතිඵලයක් එයි කියලා අපි විශ්වාස කරනවා.මේකෙන් බොහෝ දෙනෙක් කතා කරන දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණා ද නැද්ද කියලා සහ එහෙම තිබුණා නම් කවුද ඒක කළේ? මේ ප්‍රහාරය සිද්ධ කළේ ඇයි කියන දේවල් අපි අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ. ඒකට කවුරු හරි බාධා කරනවා නම් අපි දකින්නේ ඒක වින්දිතයන්ට එරෙහිව කරන මහා අපරාධයක් හැටියට යැයිද පියතුමෝ කීහ