a-note-from-chandrika-on-how-to-name-her-daughter-on-vijaya-commemoration-day

දිවයිනේ අතිවිශාල කලා රසිකයන් පිරිසකගේ ජනහද බැඳගත් ප්‍රවීණ කලාකරුවකු මෙන්ම ජනප්‍රිය දේශපාලනඥයකු වූ විජය කුමාරණතුංගයන්ගේ 38 වැනි ගුණ සමරුව අදට (16) යෙදී තිබෙන අතර, ඒ වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය සංවේගය පළ කරමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ හැඟීම්බර සටහනක් තබා තිබේ.




එම සටහන මගින් ඇය අතීත ආවර්ජනයක යෙදෙමින්, තම දියණිය වන යශෝධරාට එම නම තැබීම සම්බන්ධයෙන් විජය කුමාරතුංග මහතා සිරගතව සිටින කාලය තුළ ලියූ සංවේදී ලිපියක් ප්‍රසිද්ධියට පත් කර ඇත. දියණිය උපන් මොහොතේම ඇයට 'යශෝධරා' යන නම තැබීමට තමා තීරණය කළ බවත්, රජ සැප විඳ පසුව අසරණ වුවද ලෝකයේ අසරණ ජනතාව වෙනුවෙන් ඒ සියල්ල ඉවසා වදාරාගෙන සිටි යශෝධරාවගේ චරිතය ඊට පාදක වූ බවත් ඔහු එම ලිපියෙන් පෙන්වා දී තිබේ. ඉවසීමේ, අවබෝධයේ, කරුණාවේ සහ ගුණ යහපත්කමේ කෙළවර යශෝධරා බව පවසන ඔහු, එම ගුණධර්මවලින් බිඳක් හෝ පිහිටියහොත් ඇය හොඳ මනුස්සයෙක් වනු ඇති බවත්, ලෝකයේ උපන් කෙනෙකු ආරක්ෂා කරගත යුතු එකම දේ මනුස්සකම පමණක් බවත් සිය දියණියට ආමන්ත්‍රණය කරමින් සිර මැදිරියේ සිට ලියා ඇත.

එය මෙසේය. 

"විජය ඝාතනය කර අදට වසර 38ක්- "උඹ ඉපදුණු වෙලේ මම තීරණය කරලා තිබුණේ උඹට 'යශෝධරා' කියලා නම තියන්න. උඹට තියන්න නම් සිය ගණනක් හෙව්වත් මට තිබුණ එකම නම 'යශෝධරා' විතරයි. මේ මිහිපිට ඉපදිලා රජ සැප විඳලා පසුව කාත් කවුරුවත් නැතුව අනාථ වෙලා අසරණ වුණු කෙනෙක් යශෝධරා. ඒත් ඒ සියල්ල මේ ලෝකේ අසරණ ජනතාව වෙනුවෙන් ඉවසා වදාරගෙන හිටියා." "ඉවසීමේ, අවබෝධයේ, කරුණාවේ, ගුණ යහපත්කමේ කෙළවර තමයි 'යශෝධරා'. ආදරයේ, දයාවේ, අසරණ බවේ කෙළවරයි 'යශෝධරා'. ඒ ගුණ ධර්මවලින් බිඳක්වත් තිබුණොත් උඹ හොඳ මනුස්සයෙක් වෙයි. මට ඒ ඇති. මේ ලෝකේ ඉපදුණු කෙනෙකුට ආරක්ෂා කරගන්න ඕන එකම දේ මනුස්සකමයි. ඒ මනුස්සකම රැක ගත්තොත් අපිට මුළු ජීවිතය පුරාම සතුටු වෙන්න පුළුවන් වේවි." 

- විජය සිරගතව සිටිය දී යශෝධරාට ලියූ ලිපියක්"




මෙම සටහනට ප්‍රතිචාර දක්වමින් බොහෝ පිරිසක් විජය කුමාරණතුංගයන්ගේ මානවහිතවාදී ගුණාංග, නිහතමානී බව සහ රංගන ප්‍රතිභාව අගයමින් සංවේදී අදහස් පළ කර තිබෙනු දක්නට ලැබේ. සිංහල සිනමාවේ දුටු ආකර්ෂණීයම රුව සහ රත්තරන් හදවතක් හිමි වූ ඔහු සැබෑ මනුස්සයෙකු වූ බවත්, ඔහු අදටත් ජනතා හදවත් තුළ ජීවත් වන අමරණීය චරිතයක් බවත් බොහෝ රසිකයින් පෙන්වා දී ඇත. එසේම, දේශපාලනය තුළ දිගින් දිගටම රැඳී නොසිටීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිරූපය අපිරිසිදු නොවී සදාකාලිකවම සුන්දර චරිතයක් ලෙස ජනතා මතකයේ රැඳී පවතින බවත් ඇතැම්හු අදහස් දක්වා තිබේ.

කෙසේ වෙතත්, මෙම සටහනට ලැබී ඇති ප්‍රතිචාර අතර දේශපාලනික සහ සෘජු විවේචනාත්මක අදහස් ද කැපී පෙනෙයි. විජය කුමාරණතුංගයන් වැනි අවිහිංසාවාදී නායකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණ වෙත සිය දැඩි කෝපය සහ අප්‍රසාදය පළ කර ඇති අතර, එය සමස්ත රටටම සිදු වූ බලවත් පාඩුවක් ලෙස හැඳින්වීමට ඔවුහු කටයුතු කර ඇත. මීට අමතරව, හිටපු ජනාධිපතිනිය වෙතද දැඩි විවේචන එල්ල වී ඇති අතර, වසර නවයක් පුරා විධායක ජනාධිපති ධුරය හොබවා සම්පූර්ණ බලය කේන්ද්‍ර කරගෙන සිටියදීත් තම සැමියාගේ සැබෑ ඝාතකයින් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් කිරීමට ඇය අපොහොසත් වීම පිළිබඳව බොහෝ දෙනෙකු සිය බලවත් කනගාටුව සහ විරෝධය සටහන් කර තිබේ.

a-note-from-chandrika-on-how-to-name-her-daughter-on-vijaya-commemoration-day