හෝමාගම, මාගම්මන ප්‍රදේශයේදී මවගේ අනියම් සැමියා විසින් එල්ල කරන ලද බව කියන කෲර පහරදීමක් හේතුවෙන් අවුරුදු දෙකයි මාස හතරක් වයසැති කුඩා දැරියක ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට අදාළව ඝාතනයට සම්බන්ධ අනියම් පුරුෂයා සොයා පොලිස් පරීක්ෂණ අරඹා ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මාගම්මන, සමගි මාවතේ පදිංචිව සිටි පරින්දි දිලන්යා නැමති දැරියයි.
මෙම කුඩා දැරිය තම මවගේ අනියම් සැමියාට "තාත්තා" යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීම හේතුවෙන් ඊට උරණ වී අදාළ පුද්ගලයා විසින් මෙම අමානුෂික පහරදීම සිදුකර ඇති බව මත්තේගොඩ පොලීසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.මියගිය දැරිය ඇයගේ මව, එකොළොස් හැවිරිදි සහෝදරයා මෙන්ම මිත්තණිය සහ මුත්තණුවන් සමග අදාළ නිවසේ ජීවත් වී ඇති අතර, මව සහ පියා අතර වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇයගේ උපන් පියා ඔවුන් අතහැර ගොස් ඇත. ඉන්පසුව මව වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් ගොඩනගාගෙන ඇති අතර, එම පුද්ගලයා නිතර මෙම නිවසට ආගිය බවත් ඇතැම් දිනවල එහි නවාතැන් ගත් බවත් පැවසේ. තමන්ට පියා ලෙස කතා නොකිරීමේ වෛරය මත අදාළ සැකකරු අවස්ථා කිහිපයකදීම දැරියට පහර දී ඇති බවත්, මව ද ඊට අනුබල දෙමින් පියා ලෙස කතා කරන මෙන් බලකරමින් දැරියට පහර දී ඇති බවත් තොරතුරු වාර්තා වේ.
පොලිස් විමර්ශනවලට අනුව, සැකකාර පුද්ගලයා ඉකුත් 12 වැනිදා රාත්‍රියේ නිවසට පැමිණ ඇති අතර 13 වැනිදා අලුයම කාලයේදීද දැරියට දැඩි සේ පහර දී තිබේ. ඉන් අනතුරුව පදිංචියට වෙනත් නිවසක් බැලීමට යන මුවාවෙන් 13 වැනිදා උදෑසන දැරියද රැගෙන නිවසින් පිටව ගොස් ඇති ඔහු, නැවත සවස නිවසට පැමිණෙන විට දැරිය යම් අසාමාන්‍ය රෝගී හෝ අසාත්මික තත්ත්වයකින් පසු වී ඇත. එහෙත් දැරිය වහාම රෝහල්ගත කිරීමට සැකකරු හෝ මව කිසිදු පියවරක් ගෙන නොමැති අතර, ඒ පිළිබඳව දැඩි ලෙස කෝපයට පත් දැරියගේ මිත්තණිය ඔවුන්ට බැනවැදී පොලීසියට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබේ.
මිත්තණියගේ තර්ජනයත් සමග දැරිය රෝහලට ගෙන යාම සඳහා වාහනයක් රැගෙන එන බව පවසමින් නිවසින් පිටව ගිය සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇත. අනතුරුව මව සහ සහෝදරයා එක්ව යතුරුපැදියකින් දැරිය හෝමාගම මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත්, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලීසිය, සිද්ධියට සැකපිට දැරියගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර පළාගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මීට පෙරද මෙම කාන්තාව අදාළ දැරියට වස පොවා තමාද සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවට පොලිස් පැමිණිල්ලක් පවතින බැවින්, මෙම ඝාතනය මවගේ ද දැනුවත්භාවය මත සැලසුම් සහගතව සිදුවූවක්ද යන්න පිළිබඳව පොලීසිය වැඩිදුරටත් සැක පළ කරයි.
සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර (SOCO) නිලධාරීන් පැමිණ මූලික පරීක්ෂණ සිදුකළ අතර, කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් ඔෂාරි ජයකොඩි මහත්මිය ද එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූවාය. දේහය හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර තිබූ බැවින් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා රෝහල වෙත ගොස් දේහය පරීක්ෂා කර, විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙස පොලීසියට නියෝග කළේය. අත්අඩංගුවට ගත් මව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පවුලේ සෙසු සාමාජිකයින්ගෙන්ද පොලීසිය මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යයි.