අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද (17) දිනයේ මුහුණ දීමට සූදානමින් සිටි කෑගල්ල ප්‍රදේශයේ දහසය හැවිරිදි පාසල් සිසුවියක් ඉකුත් 15 වැනිදා කෑගල්ල මහ රෝහලේදී දරුවකු බිහි කර තිබේ. කෑගල්ල පොලිස් බලප්‍රදේශයට අයත් මෙම දැරිය මෙලෙස දරු ප්‍රසූතියක් සිදුකර ඇති බව කෑගල්ල මහ රෝහලේ ප්‍රකාශකයෙකු විසින් තහවුරු කර ඇත.
මෙම පාසල් සිසුවියගේ පියා මීට කලකට පෙර රෝගාතුරව මියගොස් ඇති අතර, ඉන් අනතුරුව පවුලේ බර කරට ගෙන ඇත්තේ මව විසිනි. ඇය ප්‍රදේශයේ කුඩා තේ වතුවල දලු නෙළමින් උපයා ගන්නා සුළු මුදලකින් දැරිය සහ ඇගේ වැඩිමහල් සොහොයුරා රැකබලා ගෙන ඇත. දැරියගේ සහෝදරයා මේ වන විට රැකියාවක් සඳහා කොළඹ ප්‍රදේශයට ගොස් ඇති බවද වාර්තා වේ.
රෝහල් බලධාරීන් වෙත කරුණු පැහැදිලි කරමින් සිසුවිය ප්‍රකාශ කර ඇත්තේ, තමා මීට පෙර පාසල් සිසුවෙකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්, පසුව එය නතර කර දැමූ බවත්ය. කෙසේ වෙතත්, තමා බිහිකළ දරුවා එම සබඳතාවයේම ප්‍රතිඵලයක් බව ඇය ඊයේ (16) දිනයේදී වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
පසුගිය 15 වැනිදා අලුයම දැරියට ප්‍රසූත වේදනාව හටගෙන ඇති අවස්ථාවේදී, එය හදිසි රෝගාබාධයක් යැයි සිතූ මව විසින් වහාම ඇයව ත්‍රීරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. දැරිය විසින් එදින පෙරවරුවේ දරුවා ප්‍රසූත කරන තෙක්ම සිය දියණිය ගැබිනියකව සිටි බවක් මව කිසිසේත්ම දැනසිට නොමැති බවද සඳහන් වේ.
අලුත උපන් බිළිඳා මේ වන විට කෑගල්ල මහ රෝහලේ ප්‍රසව වාට්ටුවට අයත් නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කර තිබේ. එමෙන්ම, අද දින පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට මෙම පාසල් දැරියට අවස්ථාව සලසා දීමේ අරමුණින් රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඊයේ දිනයේදී ඇයව රෝහලෙන් මුදාහැර නිවස බලා පිටත් කර යවා ඇත.