9-thugs-who-ran-to-save-the-two-palestinian-women-caught-at-the-second-crossing-were-arrested

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත පුද්ගලයින් නව දෙනෙකු පිටකොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පහරදීම සිදුව ඇත්තේ, පසුගිය 23 වැනිදා පිටකොටුව දෙවැනි හරස් වීදියේදී සැකකටයුතු ලෙස හැසිරුණු පලස්තීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන අවස්ථාවේදීය.




සිද්ධිය වූ දිනයේදී සිවිල් ඇඳුමින් සැරසී රාජකාරියේ නිරතව සිටි රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙකුට අදාළ විදේශීය කාන්තාවන් දෙදෙනා පිළිබඳව සැකයක් මතු වී ඇත. ඒ අනුව ඔහු තවත් පොලිස් නිලධාරියෙකුගේ ද සහාය ඇතිව එම කාන්තාවන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, ඔවුන්ව වැඩිදුර ශරීර පරීක්ෂාවකට ලක් කිරීම සඳහා පොලිස් කාන්තාවන් එම ස්ථානයට පැමිණෙන තෙක් රඳවාගෙන සිට තිබේ.

මෙලෙස රඳවාගෙන සිටි පලස්තීන කාන්තාවන් මුදා ගැනීමේ අරමුණින් අදාළ ස්ථානයට කඩා වැදුණු පිරිසක් එකවරම පොලිස් නිලධාරීන් දෙදෙනාට දැඩි ලෙස පහර දී ඇති බව වාර්තා වේ. එම කලහකාරී තත්ත්වයත් සමග විදේශීය කාන්තාවන් දෙදෙනා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර, පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිති.




සාපරාධී බලහත්කාරය පාමින් පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා අතරට දෙවැනි හරස් වීදියේ වෙළඳාමේ නිරත වන පුද්ගලයින් හත් දෙනෙකු, කුඩ නිෂ්පාදන ආයතනයක කළමනාකරුවෙකු සහ රියදුරෙකු අයත් වේ. මොවුන් කොළඹ, වැල්ලවත්ත, කිරුළපන සහ සීදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට පොලිසිය වැඩිදුරටත් කරුණු තහවුරු කර ඇත.