කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවකුට ඉකුත් 22 වැනිදා රාත්‍රියේ පොළඟකු දෂ්ට කිරීම හේතුවෙන් ඔහුගේ දෙනෙත් අදභාවයට පත්ව ඇති බව කුලියාපිටිය ශික්ෂණ රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි. මෙම සිසුවා ඊට පසුදා (23) පැවැත්වීමට නියමිතව තිබූ ගණිත ප්‍රශ්නපත්‍රයට මුහුණ දීමට සූදානමින් සිට ඇත.
රජය විසින් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් කර ඇති පසුබිමක, මෙම සිසුවා ගණිත ප්‍රශ්නපත්‍රයක් සාකච්ඡා කිරීම සඳහා උපකාරක පන්තියකට සහභාගී වී නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස සර්ප දෂ්ටනයට ලක්ව ඇති බව පාසල් ආරංචිමාර්ග සඳහන් කරයි.
කළ විමසීමකදී, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ, දෂ්ට කර ඇත්තේ පොළඟකු බවට සැක කිරීමට ප්‍රමාණවත් රෝග ලක්ෂණ දරුවා පෙන්නුම් කරන බවයි. නිසි ප්‍රතිකාර ලබාදීම තුළින් අනාගතයේදී දරුවාගේ පෙනීම යථා තත්වයට පත්වීමට ඉඩ කඩ ඇති බවට යම් විශ්වාසයක් පවතින බවද එම ප්‍රකාශකයා අවධාරණය කළේය. එසේම, විභාග සමයේදී දරුවන් තම ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශයින්ම පරෙස්සම් වීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.