a-rise-in-childhood-and-adolescent-cancer-cases

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, වාර්ෂිකව ළමා හා නව යොවුන් වියේ පිළිකා රෝගීන් නවසියයකට අධික සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බවයි. කෙසේවෙතත්, මෙම පිළිකා මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දීමෙන් පූර්ණ සුවය ලබාගත හැකි බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා අවධාරණය කරයි.




කොළඹදී පෙරේදා (12) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, වෛද්‍ය පෙරේරා මහතා සඳහන් කළේ, ළමුන් අතර බහුලවම වාර්තා වන්නේ ලියුකේමියාව (ලේ පිළිකාව), වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොළයේ පිළිකා, අස්ථි පිළිකා සහ ඇසේ ඇතිවන පිළිකා බවයි.

ඔහු පෙන්වා දුන්නේ, ළමා පිළිකාවලට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ අහඹු ලෙස ඇතිවන ජාන වෙනස්කම් බවයි. පරිසර සාධක හෝ ආහාර රටා ළමා පිළිකාවලට සෘජුවම බලපෑමක් නොකරන අතර, වැඩිහිටි වියේ පිළිකා සඳහා මෙම සාධක බලපෑම් කළ හැකි බවද මෙහිදී අවධාරණය විය.




බාහිර සාධක හෝ චර්යා රටාවේ බලපෑම් ළමා පිළිකා සමඟ සෘජුව සම්බන්ධ කිරීම අපහසු වුවත්, අහිතකර ආහාර රටා දරුවන්ගේ සමස්ත සෞඛ්‍යයට අහිතකර විය හැකි අතර, ඔවුන්ගේ ළමා කාලයට මෙන්ම වැඩිහිටි වියේදී ඇතිවන බොහෝ රෝග තත්ත්වයන්ටද හේතු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් නවසියයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන අතර, අවසාන වාර්තාවන්ට අනුව මෙම සංඛ්‍යාව 940ක් දක්වා ඉහළ ගොස් ඇත. එබැවින්, ළමා පිළිකා කල් ඇතිව හඳුනාගෙන වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීම ප්‍රධානතම ඉලක්කය බවත්, එමගින් සම්පූර්ණ සුවය ලබා ගැනීමේ හැකියාව පවතින බවත් වෛද්‍ය පෙරේරා මහතා අවධාරණය කළේය.