ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් ගෙනා අර්ජුන රණතුංග ලංකාවේ ලෝක කුසලාන තරගාවලියක් පවතිද්දී කල එළි බැස සිටියයුතු නමුත් ඔහු ලංකාවෙන් අතුරුදන්ව ඇතැයිද ඇමරිකාවේ වාසය කරමින් සිටින්නේ යයිද දක්වමින් ප්‍රකට ක්‍රික් බස් වෙබ් අඩවිය ලිපියක් පළ කර තිබේ. එහි දැක්වෙන සටහන පහත පරිදිය.
අර්ජුන රණතුංග සහ ඉම්රාන් ඛාන් අතර පවතින්නේ ඉතාම සිත්ගන්නාසුලු සමානකම් කිහිපයකි. මොවුන් දෙදෙනාම තම රටවල ක්‍රිකට් ක්‍රීඩාවේ පැවති සම්ප්‍රදායික රටාවන් මුළුමනින්ම වෙනස් කළ, ශක්තිමත් පෞරුෂයකින් සහ කිසිවිටෙකත් පසුබට නොවන දැඩි නායකත්ව ශෛලියකින් හෙබි ලෝක කුසලාන දිනූ නායකයින් මෙන්ම ජාතික වීරයන් වෙති. නිරන්තරයෙන්ම සෘජුව අදහස් ප්‍රකාශ කළ මෙම ක්‍රීඩකයන් දෙදෙනාම පසුකාලීනව දේශපාලනයට ද පිවිසියහ. එහෙත් වර්තමානය වන විට මෙම ලෝක කුසලාන වීරයන් දෙදෙනාම තම රටවල් තුළ යම්කිසි ආකාරයකින් ප්‍රතික්ෂේපිත චරිත බවට පත්ව තිබේ. එහි ඇති එකම වෙනස නම්, ඉම්රාන් ඛාන් මේ වන විට සිරගතව සිටීම සහ අර්ජුන රණතුංග නීතිමය අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටීමයි.විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලියක් මව්බිම තුළ දිගහැරෙන පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පුරවැසියා ලෙස සැලකිය හැකි අර්ජුන රණතුංගගේ නිහඬතාව කැපී පෙනෙන්නකි. ඔහු සිටින්නේ කොහේදැයි විමසූ විට බොහෝ දෙනෙකුගෙන් ලැබෙන පිළිතුර වන්නේ "අපි දන්නේ නැහැ" යන්නයි. ඔහු ක්‍රීඩාවට සම්බන්ධ නොවන්නේ මන්දැයි හෝ ඔහු රට තුළ සිටීද නැතිනම් විදේශයක සිටීද යන්න තමා නොදන්නා බව අර්ජුනගේ හිටපු කණ්ඩායම් සගයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ට පිතිකරුවෙකු වන සිදත් වෙත්තමුණි පවසයි.
ඔහු මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින බවට පැතිර යන රාවය තහවුරු කිරීමට ඉදිරිපත් වන්නේ අතළොස්සකි. කෙසේ වෙතත්, ඔහුගේ සොහොයුරු නිශාන්ත රණතුංග මේ පිළිබඳව ක්‍රික්බස් (Cricbuzz) වෙබ් අඩවියට අදහස් දක්වමින්, අර්ජුන මේ වන විට ඇමරිකාවේ සිටින බවත් ඔහු මුනුපුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් පසුවන බවත් තහවුරු කළේය. එසේම, 2023 වසරේ කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නියෝජනය කළ තම වැඩිමහල් සොහොයුරා මේ වන විට ක්‍රිකට් පරිපාලනයට හෝ ක්‍රිකට් ආයතනයට සම්බන්ධ නොවන බව පැවසීමට ද ඔහු පසුබට වූයේ නැත.
මීට වසර කිහිපයකට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) එරෙහිව දැඩි විවේචනයක් එල්ල කළ අර්ජුන කිසි දිනෙක ඉන්දියාවට පක්ෂපාතී වූවෙකු නොවීය. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය ඉන්දීය ක්‍රිකට් ආයතනය සමඟ පවත්වන මිත්‍රශීලී ප්‍රතිපත්තියට හාත්පසින්ම වෙනස්ය. එහෙත් අර්ජුන ප්‍රසිද්ධියෙන් වැළකී සිටීමට හේතුව ඉන්දියාව නොවේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ආයතනයක් විසින් ඔහුව මූල්‍ය වංචාවකට සම්බන්ධ කරමින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බවට පුළුල් ලෙස වාර්තා විය. ඉන් දින කිහිපයකට පසු ඔහුගේ සහෝදරයන් වන ධම්මික සහ ප්‍රසන්න ද සුළු කාලයකට අත්අඩංගුවට ගෙන මුදා හරින ලදී. කෙසේ නමුත්, අර්ජුනට එරෙහිව නිකුත් කළ වරෙන්තුව තවමත් ක්‍රියාත්මකද යන්න පිළිබඳව අදහස් දැක්වීමට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේ නැත.
දේශපාලඥයින්ගෙන් සමන්විත පවුලක උපත ලැබූ අර්ජුනගේ පියා වන රෙජී රණතුංග ද මන්ත්‍රීවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. එබැවින් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසීම ස්වාභාවිකය. ප්‍රභූ පැලැන්තියට පමණක් බොහෝ දුරට සීමා වී තිබූ ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය ජනතාවට සමීප කිරීමට පෙරමුණ ගත් ඔහුට, දේශපාලනය තුළින් තම ක්‍රිකට් දිවියේ ලැබූ අතිමහත් සාර්ථකත්වය අත්කර ගැනීමට නොහැකි විය.
1983 ඉන්දියාව ලැබූ ජයග්‍රහණය ගෝලීය ක්‍රිකට් රටාව වෙනස් කළාක් මෙන්, ශ්‍රී ලංකාවට 1996 ලෝක කුසලානය දිනා දීමට ඔහුගේ නොසැලෙන නායකත්වය ඉවහල් විය. එසේ වුවද, තම ක්‍රිකට් දිවියේ මුල් කාලයේදී අඛණ්ඩව ලකුණු ලබා ගැනීමට අසමත් වූ අවස්ථාවන්හිදී පවා අර්ජුනගේ දැඩි සහයෝගය මත ඉදිරියට ආ හිටපු නායක මාවන් අතපත්තු පවා අර්ජුන සම්බන්ධයෙන් අදහස් දැක්වීම කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නේ "නැහැ, කරුණාකරලා (අහන්න එපා)" යැයි පවසමිනි.
කෙසේ වෙතත්, අර්ජුන සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉදිරිපත් වන එක් පුද්ගලයෙකු වන්නේ ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියෙකු වූ තිලංග සුමතිපාලය. අර්ජුනට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව චෝදනා ගොනුකර ඇති බැවින් ඔහුට බලධාරීන් සමඟ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, එයට එරෙහිව ඔහු නීතිමය සටනක් කළ යුතු බවත් හිටපු ක්‍රිකට් සභාපතිවරයා පවසයි. ඔහු තුළින් දුටු විශිෂ්ට නායකත්වය නිසා කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හෝ අරවින්ද ද සිල්වා මෙන් අර්ජුන ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනු දැකීමට තමන් කැමති බව සුමතිපාල මහතා සඳහන් කරයි. එහෙත් පරිපාලකයෙකු ලෙස ඔහු කිහිපවරක්ම ක්‍රිකට් ආයතනයට තේරී පත්වීමට උත්සාහ කර පරාජයට පත් වූ බවත්, ඉම්රාන් ඛාන් මෙන්ම දේශපාලඥයෙකු ලෙස ඔහු බොහෝ අභියෝගවලට මුහුණ දුන් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර පවතින සම්ප්‍රදායික ක්‍රිකට් සටන නියෝජනය කරමින් ඔවුන් දෙදෙනා කිසිදිනෙක සමීප මිතුරන් නොවුවද, අර්ජුනගේ සමුගැනීමේ තරගය තමන් විසින් සංවිධානය කළ බව සුමතිපාල පවසයි. කෙසේ නමුත් අර්ජුන සහ ඉම්රාන් ඛාන් අතර පවතින සමානකම් මෙතැනින් අවසන් වේ. දූෂණ චෝදනා මත සිරගත වී නිදහස් වීමේ කිසිදු නිශ්චිතභාවයක් නොමැතිව සිටින පකිස්ථාන නායකයා මෙන් නොව, අර්ජුන රණතුංග යනු වත්මන් ශ්‍රී ලංකා රජයට විශාල ගැටලුවක් නොවේ. එමෙන්ම, ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගෙන් ලැබුණු දායකත්වය අගයන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට ඔහු තර්ජනයක් ද නොවන බැවින්, ඔහුගේ මෙම නීතිමය තත්වය ඉම්රාන් ඛාන්ගේ සිදුවීම තරම් දේශපාලනික බරකින් යුක්ත වෙතැයි අපේක්ෂා කළ නොහැක.