piumis-son-and-the-team-of-shovels-clashed-with-the-media-while-leaving-after-getting-bail-video

රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හත් දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා ඊයේ (20) නියෝග කළේය.





එක් සැකකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, බාලවයස්කාර සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් ඇපකරුවන් ලෙස පෙනී සිටිය යුතු බවටද නියෝග කර ඇත.




බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සැකකරුවන්, හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කර ඇති බව වාර්තා විය. එහිදී, සාක්ෂිකරු විසින් සියලු සැකකරුවන් අදාළ සිද්ධිය සිදු වූ ස්ථානයේ සිටි පුද්ගලයන් බවට තහවුරු කර තිබේ.

පොලිස් විමර්ශනවලට අනුව, මීට මාස තුනකට පමණ පෙර, පියුමි හංසමාලි මහත්මියගේ පුත්‍රයාගේ මිතුරෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. මෙම සිද්ධියට පසුව පැමිණි නිරූපණ ශිල්පිනියගේ පුත්‍රයා ඇතුළු පිරිස ත්‍රීරෝද රථ රියදුරුට පහර දීම සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය මෙම විමර්ශනය සිදු කර ඇත.



සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප නියම කළ අතර, ඉදිරි විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබන ජුනි මස 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර තිබේ.

මේ අතර, ඇප ලැබීමෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයෙන් පිටව යන අවස්ථාවේදී පියුමි හංසමාලි මහත්මිය මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් නොකර සිය රේන්ජ් රෝවර් රථයෙන් වහාම පිටව ගියාය. ඇප ලැබූ අනෙක් සැකකරුවන් වෙන වෙනම එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු අධිකරණ භූමියෙන් පිටතදී මාධ්‍යවේදීන් සමග උණුසුම් කතාබහක් ඇතිකරගෙන ඇත්තේ, ඡායාරූප හෝ වීඩියෝ ලබා නොගන්නා ලෙස දැනුම් දෙමිනි. මෙම තත්ත්වය සමථයකට පත් කිරීමට පොලීසියට ද මැදිහත්වීමට සිදුවිය.

gossiplanka image