මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
මෙම නියෝගය ලබා දීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ වයස අවුරුදු 98ක් වන ඇය ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන බරපතළ රෝගී තත්ත්වයන්ගෙන් පෙළීමයි. මීට පෙර කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, ඇයගේ වයෝවෘද්ධභාවය සහ මානසික සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තමන්ට එරෙහිව ඇති චෝදනා පිළිබඳව හෝ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් ඇයට නොමැති බවයි.
තම පෞද්ගලික කටයුතු පවා තනිවම සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන ඇයට එරෙහිව අධිචෝදනා පත්‍රයක් පවත්වාගෙන යාම පදනම් විරහිත බව ද නීතිඥවරයා එහිදී අවධාරණය කර තිබිණි. එසේම, විශේෂ වෛද්‍ය වාර්තා මත පදනම්ව ඇයට සිය කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නොමැති බව තහවුරු වීම හේතුවෙන් 2017 වසරේදී ගංගොඩවිල දිසා අධිකරණය විසින් ඇයගේ දේපළවල භාරකාරීත්වය වෙනත් පාර්ශ්වයකට පවරා ඇති බව ද විත්තියේ නීතිඥවරයා විසින් අධිකරණයේ අවධානයට යොමු කෙරිණි.
මෙම කරුණු දැක්වීම් සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, මෙවැනි කරුණක් අධිකරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය බවත්, විත්තිකාරියගේ වයස සහ රෝගී තත්ත්වය පිළිගත හැකි වුවද දිසා අධිකරණ නියෝගයක් මත පමණක් මහාධිකරණයට කටයුතු කළ නොහැකි බැවින් නව වෛද්‍ය වාර්තා කැඳවීම සම්බන්ධයෙන් සලකා බැලීමට කාලය අවශ්‍ය බවත්ය.
නඩුව විභාග වූ අවස්ථාවන්හිදී ඇප මත මුදා හැර සිටි යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඉදිරිපත් වූ සියලු වෛද්‍ය තත්ත්වයන් සහ නීතිමය කරුණු පුළුල් ලෙස සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණය විසින් විත්තිකාරිය නිදහස් කිරීමේ මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.
කෙසේ වෙතත් නඩුව දිගටම පවතින අතර යෝෂිතට අදාළ පැමිණිලි ඉදිරියටත් විභාග වනු ඇත.