thisara-threatened-to-kill-nirodhas-friend-james

මගේ දුව නිරෝධායි මගේ බෑනා වන තිසර පුතයි බැදලා හනිමූන් එක ගතකරන්න පිටත්ව ගියේ ඛණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ තියෙන හෝටලයකටයි. තිසර පුතාගේ යාළුවෝ කට්ටියක් තමා ඇල්ල ප්‍රදේශයේ හෝටලයක් බුක් කරලා තියෙන්නේ.

එයාලා හනිමූන් එක ගත කරන්න ඇල්ල හෝටලයට යන්න ටික දුරක් යද්දී කාරි එක අනතුරකට පත්වෙලා තිඛෙනවා.




තිසර පුතා තමයි කාර් එක එළවගෙන ගිහින් තියෙන්නේ. එක්වරම එයාට නින්ද ගිහින් කාර් එක හෙළකට පෙරළෙන්න යද්දි ඒ අසල තිබූ කඩේක වැදී නතර වී තිබෙනවා. බැරිවෙලාවක්වත් කාර් එක හෙළට පෙරළුණා නම් දෙන්නගෙම ජීවිත එදා නැතිවෙන්න බෙහෙවින් ඉඩ කඩ තිබුණා. දුව මේ බවක් නොකියා කාර් එක කැඩුණා හදා ගන්න රුපියල් පනස් දාහක් එවන්න අම්මි කියා කිව්වා. මමයි මහත්තයයි ඒ වෙලාවෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ දුව ඉල්ලා සිටි මුදල යැව්වා.

පස්සේ තමයි මේ අනතුර දැනගත්තේ. කඩේට වෙච්ච අලාභයට එහි අයිතිකරුට රුපියල් දාසය දහක් දීලා තිබෙනවා කියා පසුව අපට දැන ගැනීමට ලැබුණා. ඔච්චර දුරක් යනවට අපි කැමති වුණෙත් නැහැ. අපි කැමති වුණේ නැත්තේ වෙන කිසිවක් නිසා නෙමේ දුවටයි පුතාටයි හදිසියේ හරි කරදරයක් වෙයි කියලයි. ඇල්ලට යනවා කිව්වම අපි වෙන ළඟ පාතකට යන්න කියලත් ඉල්ලීමක් කළා යැයි බ්‍රිතාන්‍යයේදී ඝාතනය වූ නිරෝධා කල්පනී නිවුන් හැල්ල මහත්මියගේ ආදරණීය මව වන ලලනී කුලතුංග (64) මහත්මිය මේ බව පැවැසුවේ කඳුළු අතරින්ය.




මංගල රථය හෙළකට පෙරළී යාමට ගොස් අනූනවයෙන් ජීවිතය බේරාගත් දුව එයාගේම සැමියා අතින් කුරිරු ලෙස දුර රටකදී ඝාතනය වීම ගැන මට හිතාගන්නවත් බැහැ. එයා මිය ගිහින් කියා මම තවම හිතන්නේ නැහැ. එයාගේ ලස්සන ෆොටෝ එකක් රාමු කරලා මම නිදාගන්න ඇඳ ළඟ තියාගෙන ඉන්නවා. දුව බඳිනකම්ම මගේ ළඟ තමා නිදාගත්තේ යයිද ලලනී මහත්මිය පැවැසුවාය.

වෙඩින් එක ගත්තේ අපේ පැත්තේ හෝටලයක. දෙන්නා මංගල පෝරුවේ ඉන්නකොට මගේ දුවට මොකක් හරි හේතුවක් නිසා අසභ්‍ය වචනයක් කියා බැනලා තිබෙනවා. ඒ විතරක් නෙමේ සෙටි එකේ දෙන්නා වාඩිවෙලා ඉන්නකොට දුවගේ කනට දමා තිබූ එක කරාබුවක් ගැලවිලා වැටී තිබෙනවා. ඒක අහුලා දෙන්න කියා තිසරට කිව්වාම ඒ වෙලාවෙත් දුවට හොඳටම බැනලා තිබෙනවා.



ලලනී මහත්මියගේ සැමියා විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක නිවුන් හැල්ල මහතාය. බ්‍රිතාන්‍යයේ වේල්සයේ අගනුවර වූ කාර් ඩීෆ් නගරයේදී පිහි ඇනුම් පහර කා මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක වූ නිරෝධා කල්පනී නිවුන් හැල්ල මහත්මියගේ එම ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ ඇගේ සැමියා වන තිසර වේරගලගේ නමැත්තාට කාඩීෆ් කවුන් අධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කරනු ලැබුවේ පසුගිය සිකුරාදාය. ඝාතනයට ලක්වූ නිරෝධා නිවුන්හැල්ල මහත්මිය ගම්පහ වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. මේ දෙපළට සිටි එකම දරුවා වන්නේ නිරෝධා නිවුන් හැල්ල වන්නීය. දස මසක් කුසේ හොවාගෙන ලෝකයේ තිබෙන දරුණුතම වේදනාව ලෙස සැලකෙන ප්‍රසූත වේදනාවද විඳගනිමින් මෙලොවට නිරෝගී සම්පන්න සිඟිත්තියක් බිහිකළ මේ මව සාහසික ලෙස ඝාතනය කිරීමේ වේදනාව දරා ගත නොහැකිව තවමත් පසුවෙන්නේ හැඬු කඳුළෙනි.

මෙම අඹු සැමි දෙපළට සදාකාලික කඳුළක් උරුමකර දෙමින් ඇයගේ එකම දියණියගේ අවසන් හුස්ම පොදු වාතයට එක් කරනු ලැබුවේ වේල්සයේ අග නගරය වූ කාර්ඩිෆ් හි පිහිටි රිවර් සයිඩ් රථ ගාල තුළදීය.

ඇය පැමිණි කාර් රථය සහ ඒ අසල තිබූ තවත් කාර් රථයක් අතර දරුණු පිහි ඇනුම් පහරවලට ලක් වූ නිරෝධා මහත්මිය මැරුම් කා තිබුණාය.

ඇය බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන් සතුටින් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක රැකියාවක් කරමින් සිටියාය.

එම මධ්‍යස්ථානයේ ඇය රැකියාව කරන අතරවාරයේ වැඩිදුර අධ්‍යාපනයක් ලැබීමේ අපේක්ෂාවෙන් ද පසු වී ඇත. ඇයගේ සැමියා ගණකාධිකරණය පිළිබඳව උපාධිය හදාරමින් සිට තිබේ. උදෑසන සුපිපි පින්න මලක් බඳු වූ සිය දියණිය ගැන මතකය ආවර්ජනය කරමින් ලලනී කුලතුංග මහත්මිය මෙසේද කීවාය. 1993 ජුලි මස 28 වෙනිදා තමා මේ නිරෝධා දියණිය ප්‍රසූත කළේ. ඇය මුලින්ම අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර ස්වර්ණ පාලි බාලිකා මහා විද්‍යාලයෙන්. එම විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වෙලා උසස් පෙළ කරන්න ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් කළා. ඇය ඒ ලෙවල් විභාගයත් ඉහළින්ම සමත් වුණා. ඇය කුඩා කල සිටම ඉගෙන ගැනීමට බොහොම දක්ෂයි. ඒවගේම ඉංග්‍රීසි භාෂාවටත් දන්නා කියන කාලේ ඉඳලම දස්කම් පෙන්නුවා. ඉගෙන ගත් පාසල් දෙකේම ගුරුවර ගුරුවරියන්ගේ ආදරය කරුණාව ලබමින් බොහොම විනීතව හැදුනු දරුවෙක්.

ඊට පස්සේ ඇය දෙමටගොඩ පැත්තේ පෞද්ගලික කම්පැණියක රැකියාවකට ගියා. එයාගේ මිතුරියක් සහ එම මිතුරියගේ සැමියා තිසරව හඳුන්වා දී තිබෙනවා. දුව කිව්වා අම්මේ තිසර කියා කෙනෙක් මගේ යහළුවො දෙන්නා හඳුන්වා දුන්නා එයා මගින් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගන්න අහනවා කියා. මගේ යහළුවො දෙන්නත් තිසර හරිම හොඳ කෙනෙක් එයා රජරට කැම්පස් එකෙන් ඩිග්‍රියක් කරලා තියෙන්නේ කියලත් කිව්වා. ඒ වෙනකොට මේ තිසර කියන ළමයා කොළඹ පැත්තේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් හිටපු කෙනෙක්. මෙහෙම කියලා දුව මට තිසරගේ ෆොටෝ එකක් පෙන්නුවා.

දුවේ ඔයාට මේ ළමයව ගැළපෙන්නේ නැහැ වගේ කියලා මම නිකමට වගේ පැවසුවා.කෙසේ වෙතත් අවසානයේ දුවගේ කැමැත්තට ඉඩ දෙන්න අපට සිදුවුණා. තිසරගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ අය මුලින්ම අපේ ගෙදර ආවා. ඊට පස්සේ තිසරගේ රුවන්වැල්ලේ පිහිටි ගෙදරට මමයි මහත්තයයි මගේ තාත්තයි අම්මයි ගියා. තිසරගේ අම්මයි තාත්තයි හරි හමන් රස්සාවක් කරලා නැහැ. ඒ දෙන්නා තිසරට බොහොම දුක් මහන්සි වෙලා අමාරුවෙන් තමයි උගන්වලා තියෙන්නේ. ඒ බව ඒ අම්මයි තාත්තයි අපිත් එක්ක කිව්වා

තිසරගේ ගෙදර ගිහින් ආපු දවසෙම දුවේ ඔයාට කොහෙත්ම මේ මගුල හරියන්නේ නැහැ ඕක අතහැරලා දාන්න කියලා කිච්චා. අපිත් ඒකම දුවත් එක්ක කිව්වත් වැඩක් උනේ නැහැ. අම්මේ තිසර දුප්පත් උනාට හොඳට ඉගෙනගෙන තියෙනවා හරිම අහිංසක හොඳ ගුණ යහපත් ළමයෙක්. එයා අරක්කු සිගරට් එකක්වත් බොන්නේ නැහැ කියලත් කිව්වා. අවසානයේ දුවගේ කැමැත්තට ඉඩ දෙන්න සිද්ධ වුනා. 2017 වසරේ අප්‍රේල් මාසේ 8 වෙනිදා දෙන්නා විවාහ වෙලා ලොකු උත්සවයක් ගත්තා. අපිට හිටපු එකම දරුවා නිසා වෙඩින් එක ලොකුවට ගන්න තීරණය කළා.

තිසර පස්සෙ කාලෙක ගුරු වෘත්තියට පිවිසුනා. එයා වෙලාවකට බොහොම හොඳ තැන්පත් ගතිගුණ තියෙන කෙනෙක්. සමහර වෙලාවට ඉක්මනින් කේන්ති ගිහින් දුවට ගහපු අවස්ථා ඕනෑ තරම් තිබුණා.

තිසරගේ නාසයේ මස් දල්ලක් ඇවිත් හුස්ම ගන්න බැරිව ඉන්නකොට ලොකු ගානක් වියදම් කරලා ඔපරේෂන් කරලා ඒ මස් දල්ල ඉවත් කරන්න වියදම් කළේත් මගේ දුවයි. එයාට ඇඳුම් පැලඳුම් පවා අරන් දුන්නේ දුවයි. ඒත් තිසර දුවට හරියට සැලකුවේ නැහැ. පොඩ්ඩ බැරි වෙද්දි ගහනවා.

අම්මේ අපිට මෙහේ ජීවත් වෙන්න අමාරුයි. රටකට යන්න ඕන කිව්වා. අපි පදිංචි වෙලා ඉන්න ගේ ඉස්සරහ අපිට ඉඩමක ගෙයක් හදලා තිබුණා. ඒ ගේ විකුණලා සහ මගේ ළඟ තිබුණු පවුම් 35 ක් විකුණලා ගත්තු සල්ලි ණයවෙලා හොයා ගත්ත සල්ලි දුවටයි පුතාටයි රට යන්න දුන්නා. බ්‍රිතාන්‍යයට යන්න යනකොට කටුනායක එයා පෝර්ට් එකේදී මමයි මහත්තයයි කිව්වේ දුව හොඳට බලාගන්න පුතේ කියලයි. අම්මි මම එයාව හොඳට බලාගන්නවා. ඔයගොල්ලෝ කිසි දේකට බය වෙන්න එපා කියලා තිසර අපිට කිව්වා.

දුව ඒ රටේ වැඩිහිටි අයව රැකබලා ගන්නා මධ්‍යස්ථානයක රැකියාව කරන අතර වාරයේ තිසර පුතා කැම්පස් එකක වැඩිදුර අධ්‍යාපනය ලැබුවා.තිසර මට නිතරම කරදර කරනවා යැයි කියා දුව මගෙත් එක්ක කිව්වා. එයාගෙන් කොච්චර කරදර හිරිහැර තිබුනත් දුව නිතරම උත්සාහ කළේ පවුල් ජීවිතය රැකගන්නයි. දුව දවසක් කාර් එකෙන් එයා වැඩ කරන තැනට යනකොට තිසර ඇවිත් යකඩ පොල්ලකින් කාර් එකට ගහලා දුව කාර් එකෙන් එළියට ඇද ගන්න උත්සාහ කර තිබෙනවා. මේ බව දුටු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් එතනට ඇවිල්ලා තිසරව අල්ලා මෙල්ල කර දණ

ගස්සා තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය ජාතිකයා දුවට කියලා තිබෙනවා ගිහින් මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්න කියලා. දුව ගිහින් පැමිණිල්ලක් කලා නම් තිසරව අපේ රටට පිටුවහල් කරනවා. බ්‍රිතාන්‍යයේ මේ වගේ දේවල්වලට නීති හරිම තදයි. ඒ නිසා පැමිණිල්ලක් කරන්න ගිහින් නැහැ. දුව තමයි මේ විස්තර මාත් එක්ක හඬ හඬා කිවේ.

දුව වැඩ කරන තැන ජේම්ස් කියල සයිකොලොජි කෙනෙක් ඉන්නවා. එයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා බොරු චෝදනාවක් තිසර කරලා දුවට පසුකාලීනව හරියට හිරිහැර කරදර කරන්න පටන් අරන් තියෙනවා. එයා කොහොමත් කවදත් හරිම සැකෙන් හිටපු කෙනෙක් බව මටත් තේරුම් ගොස් තිබුණා. හරියට එක එක්කෙනා ගැන සැක කරනවා. ජේම්ස් කියන කෙනත් තිසර එක්ක කියලා තියෙනවා අපේ එහෙම කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒක තැනක වැඩ කරන නිසා හිතවත් කමක් විතරයි තියෙන්නේ වැරදි වැටහීමක් තියාගන්න එපා කියලා. පස්සේ ජේම්ස් වත් මරනවා කියලා තර්ජනය කර තිබෙනවා. මේ සැකය මත ජේම්ස් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා දුව එක්ක කතාබහ කරන එක පවා නතර කර දැම්මා.තවදුරටත් තොරතුරු හෙළිකරමින් ලලනි කුලතුංග මහත්මිය මෙසේ ද පැවසුවාය.

තිසර පුතා රජරට කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ ඒ කැම්පස් එකේ ඉගෙන ගත්ත ගැහැනු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. හඳහන් ගැළපුණේ නැති නිසා ඒ ගැහැනු ළමයාගේ දෙමව්පියෝ මේ සම්බන්ධයට විරුද්ධ වෙලා තියෙනවා.තිසරගේ කලින් පෙම්වතිය ව සිටි ඒ ගෑනු ළමයාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ යවා බ්‍රිතාන්‍යයට එන ලෙස වරින් වර දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් තමාට උපකාර කිරීමට හැකියාව තිබෙන බවද ඒ ගෑනු ළමයාට තිසර දැනුම් දී තිබෙනවා. තිසරගේ ජංගම දුරකථනයේ තිබූ ඒ කෙටි පණිවිඩ දුව මට එවා තිබුණා.

බ්‍රිතාන්‍යයේ ඉන්න දුවගේ යහළු ගෑනු ළමයි කිහිප දෙනෙකුටම එක එක අයුතු යෝජනා කර තිබෙනවා. ඒ බවත් දුව මට හඬමින් කිව්වා. එහෙම කරපු කෙනෙක් තමයි මගේ දුවට අනියම් සම්බන්ධතාවක් පවත්වනවා කියා බොරු චෝදනා කරලා අවසානයේ මරලා දැම්මේ.දුව කාර් එකේ ඇතුළේ ඉද්දි කාර් එකට පහර දීලා එළියට ඇදලා මරන්න උත්සාහ කළ අවස්ථාවේ දූව පොලිසි ගියා නම් අදටත් මගේ දුව ජීවතුන් අතර අපට හිටිය එකම දරුවා නැතුව ගියා. අපි දෙන්නා මේ ලෝකේ තනි වුණා මේ දුක කොහොම ඉවසාගෙන ඉන්නද? අපේ පපුවලට මේ දුක දරාගන්න බැහැ යැයි ලලනි මහත්මිය හඬා වැලපුණාය.සිය දියණියගේ අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක නිවුන් හැල්ල මහතා බ්‍රිතාන්‍ය බලා ගොස් ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

thisara-threatened-to-kill-nirodhas-friend-james

thisara-threatened-to-kill-nirodhas-friend-james