වීරඹුගෙදර පොලිස් බලප්‍රදේශයට අයත් ගෝනව දෙමටලන්දවත්ත ලඳුකැලෑවක තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් 2026.02.26 වන දින දහවල් කාලයේදී සොයාගෙන ඇත. එම කාන්තාවගේ මෘතදේහය සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වහාම විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගෝනව, වීරඹුගෙදර ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු හැටපහක කාන්තාවකි.පොලිසිය සිදුකළ මූලික නිරීක්ෂණවලදී මියගිය කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ තිබී කුඩා ලණුවක් හමුවී ඇති අතර, මළසිරුර අසල වැටී තිබී ඇයගේ බවට සැක කෙරෙන මුදල් පසුම්බියක් සහ ගමන් බෑගයක් ද සොයාගෙන ඇත. කෙසේ වෙතත් මෙම මරණයට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
මේ අතර, බෙම්මුල්ල පොලිස් වසමට අයත් බාස්ලියැද්ද ප්‍රදේශයේ වෙල්යායක පුද්ගලයෙකු පිළිස්සී මියගොස් සිටියදී එදිනම දහවල් කාලයේදී සොයාගෙන ඇත. ඒ පිළිබඳව බෙම්මුල්ල පොලිස් ස්ථානය වෙත ලද දැනුම් දීමකට අනුව අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හැත්තෑහය හැවිරිදි වියේ පසුවූ වයෝවෘද්ධ පුද්ගලයෙකි. මෙම මෘතදේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙය කිසියම් අයෙකු විසින් සිදුකරන ලද ඝාතනයක් ද යන්න පිළිබඳව සැකහැර දැනගැනීම සඳහා බෙම්මුල්ල පොලිසිය විසින් මේ වනවිටත් පුළුල් විමර්ශනයක් දියත් කර ඇත.