revenge-on-us-went-wrong---a-statement-from-pakistans-leader-who-was-heartbroken-because-of-no-handshake

ඊයේ (15) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති ඉන්දු - පාකිස්තාන ලෝක කුසලාන ක්‍රිකට් තරගයට පෙර කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ සම්ප්‍රදායික අතට අත දීම ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් විසින් මඟහරිනු ලැබීය.

කාසිය උඩ දැමීමේ අවස්ථාව හිමිවූ ඉන්දීය නායකයා එය නියමිත නිල් පැහැති කවයෙන් ඉවතට වැටෙන පරිදි උඩ දැමූ අතර, කාසිය වෙත සැමගේ අවධානය යොමුවන එම මොහොත පාකිස්තානු නායක සල්මන් අලි අඝාට අතට අත දී සුබපැතීම මඟහැරීම සඳහා ඔහු ප්‍රයෝජනයට ගත්තේය.




මෙම සිදුවීම වන අවස්ථාවේදී පාකිස්තානු නායකයා අතට අත දීමේ බලාපොරොත්තුවෙන් පසුවිය. මීට පෙර දින (14) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැති මාධ්‍ය හමුවේදී ද සල්මන් අඝා ප්‍රකාශ කර තිබුණේ ක්‍රීඩාවේ ජීව ගුණය සහ එහි ආත්මීය වටිනාකම් සුරකිමින් ඉන්දීය නායකයාට සුබපැතීමට තමා හෝ සිය කණ්ඩායම කිසිවිටෙකත් පසුබට නොවන බවයි. තමාගේ පෞද්ගලික මතයට වඩා ක්‍රීඩාව හැමදාමත් සිදුවූ ආකාරයටම සිදුවීම වැදගත් වුවත්, එහි ඉදිරි ක්‍රියාමාර්ගය තීරණය කිරීම ඉන්දියානුවන් සතු බව ඔහු එහිදී අවධාරණය කළේය. එදිනම පැවැති ඉන්දීය මාධ්‍ය හමුවේදී පාකිස්තානුවන්ට අතට අත දෙන්නේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් නොදුන් සූර්යකුමාර් යාදව්, ඒ සඳහා තවත් පැය 24ක් බලා සිටින ලෙස පවසමින් පිළිතුර මඟහැරියේය.

ඉන්දියාවේ පහල්ගම් ප්‍රදේශයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ දෙරට අතර උත්සන්න වූ දේශපාලනික අර්බුදය මේ ආකාරයෙන් ක්‍රිකට් පිටිය දක්වා ද ව්‍යාප්ත වී තිබේ. ඉන්දීය ක්‍රීඩකයන් විසින් ප්‍රතිවාදී පාකිස්තානුවන්ට අතට අත දීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ පළමු වතාවට නොවේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී සූර්යකුමාර් යාදව් විසින් ද, ඉන් අනතුරුව පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී සහ පසුගිය මාසයේ නිමාවට පත්වූ 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය නායකයන් විසින් ද පාකිස්තානු නායකයන්ට අතට අත දී සුබපැතීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබිණි.