රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් නඩු භාණ්ඩ තොගයක් බොරැල්ල පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ කාමරයෙන් අතුරුදන් වීමේ සිද්ධියකට අදාළව, මෑතකදී විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට වසර හයකට පමණ පෙර, එනම් 2020 සහ 2021 යන වර්ෂවලදී අදාළ නඩු භාණ්ඩ කාමරය භාරව කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අස්ථානගත වී ඇති භාණ්ඩ අතර රුපියල් ලක්ෂ හයකට අධික මුදලක්, උපාය දූතයන් යෙදවීමට භාවිත කළ මුදල්, දේශීය මෙන්ම විදේශීය මත්පැන් බෝතල් සහ පාපැදි කිහිපයක් ද වන බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම වංචාව පිළිබඳ විමර්ශන ආරම්භ වී ඇත්තේ 2023 වසරේ දෙසැම්බර් මස 15 වැනි දින පොලිස්පතිවරයා විසින් නිකුත් කළ විශේෂ පණිවිඩයක් සහ විගණන කළමනාකරණ කමිටුව සිදුකළ දැනුම් දීමකට අනුවය. ඒ අනුව කොළඹ දකුණු භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ නියෝග මත කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අස්ථානගත වූ මුළු නඩු භාණ්ඩ 57න් 47ක් සඳහාම මෙම විශ්‍රාමික නිලධාරීන් දෙදෙනා සෘජුවම වගකිව යුතු බවයි. අධිකරණයට ඉදිරිපත් කිරීමේ මුවාවෙන් අදාළ නඩු භාණ්ඩ රැගෙන ගොස් ඔවුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා තබා ගැනීම සහ පොලිස් ලේඛනවල නිසි පරිදි සටහන් නොතැබීම යන චෝදනා මොවුන්ට එරෙහිව එල්ල වී තිබේ. මීට අමතරව, අදාළ කාල සීමාව තුළ නඩු භාණ්ඩ කාමරය භාරව කටයුතු කළ තවත් පොලිස් නිලධාරීන් අට දෙනෙකු සම්බන්ධයෙන් ද මේ වන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් වයස අවුරුදු 63 සහ 64 යන වයස්වල පසුවන, ඉහළ ඉඹුල්ගොඩ සහ අම්පාර හිඟුරාන යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් මෙම විශ්‍රාමික පොලිස් නිලධාරීන් දෙදෙනා ඉදිරියේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.