how-bawva-was-caught-in-dehiwala-which-supplies-motorbikes-that-were-used-for-the-wrong-work

තැන තැන සිදු කෙරෙන වෙඩි තැබීම් සඳහා තුවක්කුකරුවන් රැගෙන යෑමට බොහෝ සංවිධානාත්මක අපරාධකරුවන් වැඩි හරියක්ම යොදාගනු ලබන්නේ යතුරුපැදි බව නොරහසකි.මීට වසර කිහිපයකට පෙර සිදු කළ මෙම වෙඩි තැබීම් සඳහා යොදා ගැනුණි නොයෙකුත් වර්ගයේ අධි ධාර්තාව ඇති යතුරුපැදි වුවද මෑත කාලයේ කළ වෙඩි තැබීම සඳහා තුවක්කුරුවන් වැඩි හරියක්ම උපයෝගි කර ගෙන තිබුණේ 'ස්කූටි වර්ගයේ යතුරුපැදි බව




විමර්ශනවලදී හෙළි වී තිබේ. විමර්ශන වලදී හෙළි වූ කරුණු අනුව එවන් යතුරුපැදි නොයෙකුත් පොලිස් වසම්වලින් සොරකම් කරන ලද ඒවා බව තහවුරු වී ඇති අතර එවන් යතුරුපැදි සම්බන්ධයෙන් කරන ලද බොහෝ විමර්ශන වලදී එම පැදිවලි පැමිණි තුවක්කුකරුවන් සහ පැදිකරුවන් හඳුනාගැනීම විමර්ශන නිලධාරීන්ට මහත් අසීරුතාවක් ඇති කරලීමට සමත් වී තිබේ. ඒ එම යතුරුපැදි නොයෙකුත් ප්‍රදේශවලින් සොරකම් කොට මෙම වෙඩි තැබීම් කරන හෙයිනි.

මේ පිළිබඳව අවධානයෙන් සිටි පොලිසිය ඉකුත්දා රටේ විවිධ ප්‍රදේශ වලින් මෙලෙස යතුරු පැදි සොරකම් කොට සංවිධානාත්මක අපරාධකරුවකුට එම යතුරු පැදි ලබාදුන් පුද්ගලයකු කොටු කර ගැනීමට හැකි වී තිබේ. සැකකාර පුද්ගලයා 'ධව්වා ' නමින් හැඳින්වෙන අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු විවිධ ප්‍රදේශවලින් එලෙස සොරකම් කරන ලද යතුරුපැදි 9ක් සොයා ගැනීමටද විමර්ශන නිලධාරීන්ට මේ වන විට හැකි වී තිබේ.




ඉකුත් දිනක බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ සැරයන් ධනුෂ්කට පුද්ගලයකු විසින් කිසියම් තොරතුරක් ලබාදෙන ලදී. "සර්... පාතාලයේ එවුන්ට දෙන්න බයික් උස්සන එකෙක් ඉන්නවා. සර්ට මම කියන්නම් හරියට ඌ ඉන්න තැන බලලා තොරතුරු දුන් පුද්ගලයා විශ්වාස කළ සැරයන් ධනුෂ්ක ඔහුගෙන් ඊළඟ තොරතුර ලැබෙන තුරු ඇඟිලි ගැන්නේය.

“සර්.. අන්න අරු දැන් දෙහිවල 'සු' එක ගාව ඉන්නවා. උගේ අතේ පාර්සලයකුත් තියෙනවා. දැන්ම ආවොත් අල්ලගන්න පුළුවන්."



ලද තොරතුරට අනුව සැණකින් ක්‍රියාත්මක වූ සැරයන්වරයා තම නිලධාර්න් දෙදෙනකුද සමඟ ගොස් දෙහිවල සත්ත්ව උද්‍යානය අසල රැඳී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට රැගෙන පැමිණි නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී ලද තොරතුර සත්‍ය බව තහවුරු වී තිබේ.

ඒ අනුව හොරණ, කොට්ටාව, මහරගම, මිරිහාන, කළුතර දකුණ, කොස්ගම සහ මාලබේ යන පොලිස් වසමි වලින් සොරාගත් යතුරු පැදි 9ක් සම්බන්ධ තොරතුරු මේ වන විට සැකකාර බව්වාගෙන් ප්‍රශ්න කොට අනාවරණය කරගෙන ඇත.

සැකකරු මෙලෙස විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද යතුරුපැදි සතියක් හෝ දෙකක් භාවිත කොට පසුව එම යතුරුපැදි විකිණීමට උත්සාහ දරන බවත් එම උත්සාහය අසාර්ථක වුවහොත් සොරාගත් යතුරුපැදිය පාළු ප්‍රදේශවල හෝ රථගාල්වල අතහැර දමා යන බවත් විමර්ශනයේදී හෙළි වී ඇත.

හොරණ ප්‍රදේශයෙන් උස්සන ලද යතුරුපැදියක් ඉන්ධන අවසන් වීම මත කටුබැද්ද ප්‍රදේශයේදී දමා ගිය බවත් කොස්ගම පොලිස් වසමේදී සොරාගත් තවත් යතුරුපැදියක් මිරිහාන පොලිස් වසමේ රබර් වත්තක් අසල රථවාහන ගාලක දමා ගිය බවත් සැකකරු ප්‍රශ්න කිරීමේදී නිලධාරීන්ට පවසා ඇත. මාලවේ ප්‍රදේශයෙන් සොරකම්කරන ලද යතුරු පැදියක් එලෙස දමා ගොස් තිටියදී පොලිසිය විසින් සොයා ගෙන එහි අයිතිකරු වෙත මුදා හැරීය බවද විමර්ශන නිලධාහු සදහන් කළහ.

මෙලෙස සොරාගන්නා යතුරු පැදි වල ගමන් ගන්නා මොහු රටේ ප්‍රධානතම ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර අලෙවි කරන මහ පරිමාණයේ වෙළෙඳ සල් වලට ඇතුළු එම යන්ත්‍ර මිලදී ගැනීම සඳහා පැමිණි අයකු ලෙස හැසිරෙමින් එම ආයතනවල ඉතා වටිනා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බවත් එලෙස සොරා ගන්නා ලද යන්ත්‍ර ඉතා සුළු මුදලකට විකුණ්න ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

මේ අතර ඍක්කරු අත්අඩංගුවට ගැනීමට සති දෙකකට පෙර හිතවතකු මාර්ගයෙන් විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන 'සැන්ඩෝ නමැත්තා දුරකථනයෙන් හඳුනාගෙන ඇති බවත් එම දැන හැඳිනීම මත ඔහු සඳහා තවත් යතුරුපැදි තුනක් සොරාගෙන ඇති බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.සැන්ඩෝ නමැත්තා විසින් දෙන ලද උපදෙස් මත කොට්ටාව පොලිස් වසමෙන් ස්කූටිවර්ගයේ අලුත්ම යතුරු පැදියක් සොරාගෙන ඇති මොහු එම යතුරුපැදිය රථ ගාලේ පිල්ලෑව පන්සල අසල තබා එම ලොකේෂන් එක සැන්ඩෝට දන්වා පලාගොස් ඇත. පසුව සැන්ඩෝ විසින් වෙනත් පුද්ගලයකු වෙත එම යතුරුපැදිය තිබූ ලොකේෂන් එක යවා එම යතුරු පැදිය රථ ගාලෙන් ඉවත් කර තිබේ. මීට අමතරව පානදුර දකුණ පොලිස් වසමෙන් තවත් සතුරුපැදියක් සොරකම් කොට එයද පිල්ලෑව රථ ගාලේ නතර කර ඒ බව විදෙස්ගතව සිටින සැන්ඩෝ නමැත්තාට දැනුම් දී තිබෙන බව විමර්ශනයේදී හෙළිව තිබේ. එම ක්‍රියාවන් සාර්ථක කිරීම නිසා සැන්ඩෝ විසින් සැකකරුගේ ගිණුමට රුපියල් හතළිස් දහස බැගින් රුපියල් අසූදහසක් බැර කර තිබූ බවද විමර්ශන නිලධාහූ පවසති.

මරිහාන පොලිස් වසමෙන් මෙලෙස සොරකම් කරන ලද පන්සර් යතුරුපැදියක් සැන්ඩොගේ උපදෙස් මත බෙල්ලන්විල පන්සල ඉදිරිපිට ඇති රථ ගාලක තබා ඇති අතර එම පැදිය එලෙස තැබූ බවට සැන්ඩෝ නමැත්තාට දැන්වීමට පෙර මොහු අත්අඩංගුවට ගත් බව පැවැසූ විමර්ශන නිලධාරීන් ඒ නිසා එම යතුරු පැදිය බෙල්ලන්විල රථගාලේ කෙළවරක තිබී සොයා ගැනීමට හැකි බවද සඳහන් කළේය.

විමර්ශන නිලධාරීන් පවසන් නේ මෙලෙස සොරකම් කරන ලද යතුරු පැදි සංවිධානාත්මක අපරාධකරුවන් ලබා දෙන උපදෙස් මත ප්‍රසිද්ධ විහාරස්ථානවල ඇති රථ ගාල්වල තබා එම ස්ථානය නොකේෂන් ක්‍රමයට අපරාධකරුවන්ට ලබාදීම සැකකරු විසින් සිදු කර ඇති බවය.බඩෝවිට අසංක නමැති සංවිධානාත්මික අපරාධකරුගේ සමීපතමයකු වන සැන්ඩෝ නැමැත්තා විසින් මෙලෙස ලබාගත් යතුරුපැදි ඉකුත් දිනවල දෙහිවල - ගල්කිස්ස ප්‍රදේශවල සිදු කළ වෙඩි තැබීම් වලට උපයෝගි කර ගත්තේ දැයි සොයා ගැනීමට මේ වන විට පුළුල් විමර්ශනයක්ද අරඹා ඇත. මෙලෙස 2023 වසරේදී මහරගම පොලිස් වසමෙන් සොරාගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියක කොටස් මොහු පදිංචිව සිටි දෙහිවල ප්‍රදේශයේ නිවෙසක තිබී සොයා ගැනීමට නිලධාරීන් සමත් වී ඇති අතර එම පැදියේ වැසිය කොටස් කොට පිළියන්දල ප්‍රදේශයේ යකඩ බඩු කඩයකට විකුණා රුපියල් 40,000ක මුදලක් ලබාගෙන ඇති බවද ප්‍රශ්න කිරීමේ වලදී අනාවරණය කරගෙන ඇත.

සොරාගත් යතුරුපැදි නවයෙන් හතරක්ම පොලිස් වසම්වල අතහැර ගොස් ඇති අතර දෙකක් සැන්ඩො නම් ත්තාට ලබාදී ඇති බවත් ඉතුරු යතුරුපැදි 3 පොලිස් ඒකකය විසින් සොයාගෙන තිබේ.සැකකරු මෙම සොරකම් තනිවම සිදු කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇති බවත් මොහු අත්අඩංගුවට පත්වීම නිසා ඉදිරියේදී සොරකම් කිරීමට සූදානමින් සිටි අවස්ථා සියල්ල කර්‍ම වන විට ව්‍යාර්ථ වී ඇති බවත් නිලධාහු පැවැසුහ.

මේ අතර සොරකම් කරන ලද යතුරු පැදිවලින් ගොස් ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික් ආයතන වලින් සොරාගත් රුපියල් එක්ලක්ෂ අසුදහසක් වටිනා ලැප්ටොප් එකක්ද ප්‍රශ්න කිරීමෙන් පසු සොයා ගැනීමට නිලධාරීන් සමත් වී ඇති අතර එම ලැප්ටොප් යන්ත්‍රය තලංගම ප්‍රදේශයෙන් සොරාගෙන තිබිණි. හොරණ පොලිස් වසමේ තවත් රුපියල් දෙලක්ෂ විසිදහසක් වටිනා ලැප්ටොප් යන්ත්‍රයක්ද පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළෙඳසලකින් සොරාගත් රුපියල් 40,000ක අගල් 42ක ස්මාර්ට් රූපවාහිනි යන්ත්‍රයක් සොයා ගැනීමට නිලධාර්න් සමත් වී තිබේ. ඒ අනුව විමර්ශන නිලධාරීන් පවසන්නේ මොහු විසින් සොරකම් කරන ලද රූපවාහිනී යන්ත්‍ර 9ක් සහ ලැප්ටොප් යන්ත්‍ර 3 ක් මේ වන විටත් සොයාගෙන ඇති බවයි. ඒ අනුව පොලිස් වසම් 16ක මොහු සිදු කරන ලද සොරකම් 22ක තොරතුරු මේ වන විටත් අනාවරණය කර ඇතැයි කියයි.

සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති බවත් ඒ නිසා මෙලෙස සොරකමේ යෙදී ඇති බවත් බොරලැස්ගමුව පොලිස් වසමේ සිදු කළ දේපළ කොල්ලකෑම් සිද්ධීන් ගණනාවක් නිසා නුගේගොඩ අධිකරණයෙන් සැකකරුට එරෙහිව අත්හිටුවූ සිරදඬුවමක්ද නියම කර ඇති බව කියයි.දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහු 31 වැනි වියේ පසුවන බවද වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකාර බව්වා'' අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මහරගම පොලිසියට භාර දී ඇත.සැකකරු විසින් විවිධ ප්‍රදේශ වලින් යතුරු පැදි සොරාගන්නා ආකාරය දැක්වෙන සිසිටිවී කැමරා රූපරාමුද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර එම රූපරාමු පරීක්ෂා කිරීමේදී සැකකරු එම යතුරු පැදි සොරකම් කර ඇති බව තහවුරු වී ඇතැයිද කියයි.

(කීර්ති මෙන්ඩිස්)