the-police-are-not-needed---this-is-the-punishment-for-the-cloth-thief-the-truth-is-revealed-in-the-video

රෙදි සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් පුද්ගලයකු ගසක එල්ලා දඬුවම් දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වූ අතර, එය සත්‍ය සිදුවීමක් නොව ටික් ටොක් වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා පුද්ගලයන් තිදෙනෙකු විසින් සැලසුම් සහගතව සිදුකළ රඟපෑමක් බව කටුනායක පොලිසිය අනාවරණය කරගෙන තිබේ.




අදාළ වීඩියෝවේ දැක්වෙන අන්දමට දඬුවමකට ලක්වන පුද්ගලයා බලහත්කාරයෙන් එල්ලා තැබූවකු නොව, මත්පැන් බෝතලයක් ලබා ගැනීමේ අරමුණින් සිය කැමැත්තෙන්ම පැමිණ තමා විසින්ම රැගෙන ආ කඹයකින් පාද දෙක ගැටගසා ගත් අයෙකු බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත.

සිද්ධියට සම්බන්ධ රතු පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටින 39 හැවිරිදි පුද්ගලයා ආඩිඅම්බලම, කෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, මොහු නිවෙස් හිමිකරු ඇතුළු පිරිස අනුරාධපුර ප්‍රදේශයේ දින තුනක සංචාරයක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේදී එම නිවසේ ආරක්ෂාව භාරව කටයුතු කළ තැනැත්තා බව පොලිසිය සොයාගෙන තිබේ.




සංචාරය නිමවා පසුගිය 26 වැනිදා රාත්‍රියේ ආපසු පැමිණි නිවෙස් හිමිකරු, අසල්වැසි 22 හැවිරිදි තරුණයෙකු සහ මෙම පුද්ගලයා සමඟ එක්ව නිවස ආසන්නයේ පිහිටි බෝඩිම් කාමරයක මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදී මත්පැන් මදි බව පැවසූ විට "කකුල් දෙකෙන් එල්ලී සිටියහොත් මත්පැන් බෝතලයක් ලබා දෙන බවට" නිවෙස් හිමිකරු කළ අභියෝගයක් මත මෙම සිදුවීම වී ඇත.

එම අභියෝගය භාරගත් පුද්ගලයා ළිඳට දමා තිබූ කඹයක් රැගෙනවිත් තම පාදවල ගැටගසා ගෙන ඇති අතර, පසුව නිවෙස් හිමිකරු විසින් එම කඹය ආධාරයෙන් ඔහුව අඹ ගසක අත්තක එල්ලා මෙය ටික් ටොක් වීඩියෝවක් ලෙස නිර්මාණය කිරීමට කතිකා කරගෙන තිබේ.



අනතුරුව ‘කඩේ රෙදි හොරකම් කළ හොරුන්ට දෙන දඬුවම මේකයි - පොලිසිය අදාළ නෑ’ යනුවෙන් සඳහන් කරමින් එම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවත්, ඉන්පසුව ඔවුන් වෑන් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.