a-toxin-in-baby-formula---severe-warnings-across-europe

ළදරු කිරි පිටි නිෂ්පාදනවල 'සීරියුලයිඩ්' (Cereulide) නම් විෂ ද්‍රව්‍යය අඩංගු බව අනාවරණය වීමත් සමඟ ලොව පුරා ප්‍රමුඛ පෙළේ මෙම සන්නාමය වෙළඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සිංගප්පූරුවේ සහ යුරෝපයේ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව දෙමාපියන් වෙත දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් වාර්තා වනවා.




සිංගප්පූරුවේ තත්ත්වය - Dumex නිෂ්පාදන තවදුරටත් ඉවතට

සිංගප්පූරු ආහාර ඒජන්සිය (SFA) ඊයේ (ජනවාරි 30) නියෝග කරන ලද්දේ Dumex Dulac Stage 1 සහ Dulac Stage 2 යන නිෂ්පාදනයන් වහාම වෙළඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙසයි. මෙය ජනවාරි මාසය තුළ සිංගප්පූරුවේ සිදුකළ තෙවන ඉවත් කර ගැනීමයි. සිංගප්පූරු බලධාරීන් පවසන්නේ මේ වන විට එම විෂ ද්‍රව්‍යයට නිරාවරණය වීම නිසා රෝග ලක්ෂණ පෙන්වූ දරුවන් තිදෙනෙකු වාර්තා වී ඇති බවයි.




යුරෝපය කැළඹූ ඩැනෝන් (Danone) සමාගමේ තීරණය :

ලොව ප්‍රමුඛතම ආහාර නිෂ්පාදන සමාගමක් වන ඩැනෝන් (Danone), අයර්ලන්තයේ නිෂ්පාදිත සිය ළදරු කිරි පිටි තොග යුරෝපය පුරා වෙළඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. අයර්ලන්ත ආහාර සුරක්ෂිතතා අධිකාරිය (FSAI) සඳහන් කරන්නේ Aptamil, Nutrilion, Cow & Gate යන සන්නාම මෙලෙස බලපෑමට ලක්ව ඇති බවයි. මූලික විමර්ශනවලට අනුව, මෙම කිරි පිටි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ARA oil නම් අමුද්‍රව්‍යය සීරියුලයිඩ්වලින් දූෂිතව ඇත. මෙම තෙල් වර්ගය චීනයේ නිෂ්පාදිත එකක් බවයි අනාවරණයව ඇත්තේ.



සීරියුලයිඩ් (Cereulide) විෂ යනු ;

සීරියුලයිඩ් යනු Bacillus cereus නම් බැක්ටීරියාව මගින් නිපදවන විෂ ද්‍රව්‍යයකි. මෙය ශරීරගත වීමෙන් ඔක්කාරය සහ වමනය, බඩේ කැක්කුම සහ අතීසාරය යන රෝග ලක්ෂණ ඇති විය හැක. සාමාන්‍යයෙන් කිරි පානය කර විනාඩි 30ක් සහ පැය 6ක් අතර කාලයකදී මෙම ලක්ෂණ මතු වන අතර, පැය 24ක් ඇතුළත සුව වන බව සඳහන්. කෙසේ වෙතත්, ප්‍රතිශක්තීකරණය අඩු දරුවන්ට මින් බරපතල සංකූලතා ඇති විය හැකි බැවින් බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ.

ආර්ථික බලපෑම සහ සමාගම්වල පාඩුව :

මෙම තත්ත්වයත් සමඟ ඩැනෝන් සමාගමේ කොටස් මිල 8.3% කින් පමණ පහත වැටී ඇති අතර, මෙය 2025 පෙබරවාරි මාසයෙන් පසු වාර්තා වූ අවම අගය ද වේ. මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් අදාළ සමාගම්වලට අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික පාඩුවක් සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.