aluthkades-lawyer-arrested-while-hitting-ice

පිටකොටුව, කෙසෙල්වත්ත, සාංචිආරච්චිවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට අයත්, භාවිතයට නොගන්නා ගොඩනැගිල්ලක පහළ මහලේ කුප්පි ලාම්පුවක් දල්වාගෙන මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥයෙකු කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (21) සවස අත්අඩංගුවට ගෙන තිබේ.




අත්අඩංගුවට පත් නීතිඥයා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක් තිබී ඇති අතර, මත්ද්‍රව්‍ය පානය සඳහා යොදාගත් බව කියන කුප්පි ලාම්පුවද නඩු භාණ්ඩයක් ලෙස පොලිස් භාරයට ගෙන තිබේ. ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසූයේ, යම් පුද්ගලයෙකු මෙම පාළු ගොඩනැගිල්ල තුළ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් වැටලීමක් සිදුකර මොහු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී, මොහු කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ නීතිඥ වෘත්තියේ නිරතව සිටින්නෙකු බවට තොරතුරු අනාවරණය වූ බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. පනස් නව හැවිරිදි මෙම නීතිඥයා කිරුළපණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය වැඩිදුරටත් පවසන්නේ, අත්අඩංගුවට ගැනුණු මෙම නීතිඥයා දීර්ඝ කාලයක සිට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නෙකු බවට සැක කරන බවයි. ඔහුට අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහා කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.