
පියාගේ කෲර පහරදීමකට ලක්ව රෝහල්ගත කර සිටි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකට අද (23) පැවති ගණිතය විෂය සඳහා වූ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේ අවස්ථාව උදාකර දීමට අලුත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබේ.
මෙවර විභාගය සඳහා මුහුණදෙමින් සිටින දර්ගා නගරයේ පදිංචි මෙම සිසුවිය, පසුගිය සෙනසුරාදා දින විභාගය අවසන් වී දහය වසරේ ඉගෙනුම ලබන සිය නැගණිය ද කැටුව අසල්වැසි මිතුරියකගේ නිවසට ගොස් ඇත. එලෙස ගිය ගමන නිමවා නැවත නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඊට පෙර නිවසට පැමිණ සිටි පියා දැඩි ලෙස කෝපයට පත්ව දියණියන් දෙදෙනාටම අමානුෂික ලෙස පහර දී තිබේ.
පියාගේ මෙම ක්‍රියාව තවදුරටත් දරාගත නොහැකි වූ තැන සිසුවියන් දෙදෙනා විසින් අලුත්ගම පොලීසිය වෙත ගොස් ඒ පිළිබඳව පැමිණිලි කර ඇත. එහිදී ක්‍රියාත්මක වූ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අදාළ පැමිණිලි සටහන් කරගැනීමෙන් අනතුරුව වින්දිත දැරියන් දෙදෙනාව ප්‍රතිකාර සඳහා අලුත්ගම රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. පසුව ඔවුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
රෝහල්ගතව සිටින අතරතුර අලුත්ගම පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව මහතා හමුවේ වැඩිමහල් සිසුවිය විසින් සියලු තොරතුරු අනාවරණය කිරීමෙන් පසු, ඇයට විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට ඔහු පියවර ගෙන තිබේ. ඒ අනුව, අද උදෑසන පොලිස් ජීප් රථයක් සහ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ ආරක්ෂාව මෙන්ම විභාගයට අවශ්‍ය පෑන්, පැන්සල් ඇතුළු උපකරණ ද, ආහාර පාන ද ලබා දී කළුතර නාගොඩ රෝහලේ විශේෂ අවසරයක් මත ඇයව විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.
පස්වරු 4.10 ට පමණ විභාග කටයුතු අවසන් වීමෙන් පසු එම සිසුවියව කාන්තා පොලිස් ආරක්ෂාව යටතේම නැවතත් නාගොඩ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
මවගේ ආදරය සහ රැකවරණය අහිමිව පියාගේ භාරයේ හැදී වැඩෙමින් සිටියදී මෙම දැරියන් දෙදෙනා මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ඇති බව වාර්තා වේ. මේ වන විට දැරියන්ට පහර දී ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.