after-14-years-due-to-the-mallavarachchi-murder-the-bar-association-convenes-an-emergency-general-meeting

තරුණ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ මහ දවාලේ අමානුෂික ලෙස ඝාතනය කිරීමට එරෙහිව දැඩි විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද සිය මූලස්ථානයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවනු ලැබීය.




මෙම ඛේදනීය සිදුවීම සමස්ත නීතිඥ ප්‍රජාවටම මෙන්ම රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් ලෙස සලකන බව නීතිඥ සංගමය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා හෙට පස්වරු 3.00ට සමස්ත සාමාජිකත්වයේම සහභාගීත්වයෙන් හදිසි මහා සභා රැස්වීමක් නීතිඥ සංගම් පරිශ්‍රයේදී කැඳවීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. මෙය 2012 වසරේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෝෂාභියෝග අර්බුදයෙන් පසු, එනම් වසර 14කට පසුව නීතිඥ සංගමය විසින් කැඳවන ලද ප්‍රථම හදිසි මහා සභා රැස්වීම වීම විශේෂත්වයකි.

අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට සහ අධි ආරක්ෂිත කලාපයකට ආසන්නයේ, සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම ඝාතනය සිදුව තිබීම පිළිබඳව සංගමය දැඩි අවධානය යොමු කරයි. එම ප්‍රදේශයේ ඇති සීසීටීවී කැමරා දර්ශන සහ නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වහාම අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුහු පොලිසියෙන් දැඩිව ඉල්ලා සිටිති. මහජනතාවට බියකින් තොරව මහමඟ ගමන් කිරීමට හැකි වන පරිදි රටේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බවද මෙහිදී ප්‍රකාශ විය.




ඕනෑම පුද්ගලයෙකු නිසි අධිකරණ ක්‍රියාවලියකින් වරදකරුවෙකු වන තුරු ඔහුට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට හිමිකම් ඇති බවත්, ඒ අනුව සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටීම නීතිඥවරයෙකුගේ ව්‍යවස්ථානුකූල අයිතියක් මෙන්ම වගකීමක් බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි. සේවාදායකයා කවුරුන් වුවද ඔහු වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් නීතිඥවරයෙකු මෙලෙස ඝාතනයට ලක්වීම සමස්ත අධිකරණ පද්ධතියටම කරන ලද තර්ජනයකි. අද නීතිඥවරයාට මුහුණ දීමට සිදු වූ මෙම ඛේදවාචකය හෙට දිනයේදී විනිසුරුවරයෙකුට, පොලිස් නිලධාරියෙකුට හෝ බන්ධනාගාර නිලධාරියෙකුට වුවද අත්විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය හරහා විවිධ අසත්‍ය හේතු සහ නිගමන සමාජගත කිරීම නීතිඥ සංගමයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. අපරාධයකට හේතුව විනාඩි කිහිපයකින් සමාජ මාධ්‍ය හරහා තීන්දු කරන්නේ නම් අධිකරණ පද්ධතියක අවශ්‍යතාවක් නොමැති බව පවසන සංගමය, මෙවැනි සදාචාර විරෝධී මාධ්‍ය භාවිතාවන් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බරපතල තර්ජනයක් බවද අවධාරණය කළේය.



ඝාතනයට ලක්වූ තරුණ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ පවුල්වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන නීතිඥ සංගමය, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින බව තහවුරු කළේය. එසේ වුවද, සැකකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින ලෙස කිසිදු නීතිඥවරයෙකුට බලපෑම් කළ නොහැකි බවත්, නීති සහාය ලබා ගැනීම ඕනෑම අයෙකුගේ මූලික අයිතිවාසිකමක් වන බැවින් නීතිඥ සංගමය කිසිවිටෙකත් ඊට එරෙහිව කටයුතු නොකරන බවත් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණි.

after-14-years-due-to-the-mallavarachchi-murder-the-bar-association-convenes-an-emergency-general-meeting