මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙබරවාරි මාසය සඳහා ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මෙම මිල සංශෝධනය ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල ගණන් පමණක් පහළ දමා ඇත.
නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 02 බැගින් අඩු කර තිබේ. ඒ අනුව මීට පෙර රුපියල් 294 ක් ලෙස පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 292 ක් දක්වා අඩු වී ඇති අතර, රුපියල් 279 ක් ලෙස අලෙවි වූ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 277 ක් බවට පත්වනු ඇත.
මෙම වර්ග දෙක හැරුණු විට සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව ලංකා සුපිරි ඩීසල්, ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යන ඉන්ධන වර්ග පවතින පැරණි මිල ගණන් යටතේම තවදුරටත් අලෙවි කෙරේ.