2026 අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන මෙම තරගාවලිය 2026 වසරේ පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා වූ සූදානම සමඟ තරගාවලියේ උණුසුම මේ වන විටත් ආරම්භ වී ඇත.මෙවර තරගාවලිය සඳහා ලොව පුරා කණ්ඩායම් 20ක් සහභාගී වන අතර, ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5කදී සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3කදී සමස්ත තරග 55ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙය 2024 වසරේ තරග ආකෘතියට සමාන මුහුණුවරක් ගනු ලබන අතර, 2024 විස්සයි-20 ලෝක කුසලානයේ හොඳම කණ්ඩායම් 7 ලෙස තේරී පත් වූ පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය යන රටවල් මේ සඳහා ඍජුවම සුදුසුකම් ලබා ඇත. මීට අමතරව 2024 ජුනි 30 වන විට පැවති විස්සයි-20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඇමෙරිකා එක්සත් ජනපදය, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ද තරගාවලියට එක්වනු ඇත.
කලාපීය සුදුසුකම් ලැබීමේ තරග වටයන් හරහා ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, අයර්ලන්තය, නැමීබියාව, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙවර ලෝක කුසලාන වරම් දිනාගෙන තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉතාලි කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගැනීම වන අතර, ඉතිරි ස්ථානය සඳහා සුදුසුකම් ලැබීමේ තරග මගින් තවත් කණ්ඩායමක් තෝරා ගැනීමට නියමිතය.
තරග කාලසටහනට අනුව 2026 පෙබරවාරි 02 සිට 06 දක්වා පුහුණු තරග පැවැත්වෙන අතර, මූලික වටයේ තරග 40ක් පෙබරවාරි 07 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතය. අනතුරුව සුපිරි 8 (Super 8s) වටයේ තරග 12ක් පෙබරවාරි 21 සිට මාර්තු 01 දක්වා පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරග මාර්තු 04 සහ 05 යන දිනවලදී පැවැත්වේ. ලෝක කුසලාන අවසන් මහා තරගය මාර්තු 08 වන දින පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩාංගණ ත්‍රිත්වයක් තෝරාගෙන ඇති අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ එස්.එස්.සී (SSC) ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඒ සඳහා සූදානම් කර තිබේ.