10-dead-25-injured-in-canada-shooting

බටහිර කැනඩාවේ පාසලක් සහ නිවසක් ඉලක්ක කර ගනිමින් සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය තහවුරු කරයි. ටම්බ්ලර් රිජ් ද්විතීයික පාසලේ සිදුවූ වෙඩි තැබීමෙන් හත් දෙනෙකු මාරාන්තික තුවාල ලබා මියගොස් ඇති අතර, මින් හය දෙනෙකුගේ සිරුරු පාසල තුළ දී ද හත්වැන්නා රෝහලට ගෙන යන අතරතුර දී ද මියගොස් ඇත.

අනෙක් මෘත ශරීර පාසල අසල පිහිටි නිවසක තිබී සොයාගෙන ඇති අතර, ප්‍රහාරකයා ද පාසල තුළදී සිය දිවි නසාගෙන මියගොස් ඇති බව බලධාරීන් පවසයි.




පොලිසිය පවසන පරිදි ප්‍රහාරකයාගේ අනන්‍යතාවය ඔවුන් විසින් හඳුනාගෙන තිබුණ ද, සැකකරුගේ නම හෝ ස්ත්‍රී පුරුෂ භාවය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය අතරතුර නිකුත් කරන ලද ආරක්ෂක අනතුරු ඇඟවීමක සැකකරු "දුඹුරු පැහැති හිසකෙස් ඇති, ගවුමක් ඇඳ සිටි කාන්තාවක්" ලෙස විස්තර කර තිබුණි. වෙඩි තැබීම සඳහා භාවිතා කරන ලද ගිනි අවිය පිළිබඳව හෝ මියගිය වින්දිතයන්ගේ වයස් සීමාවන් පිළිබඳව පොලිසිය තවමත් තොරතුරු හෙළි කර නොමැති අතර, පාසල සහ අදාළ නිවස අතර ඇති සම්බන්ධය ද මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම ඛේදජනක සිදුවීම සැලවීමත් සමඟ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සිය ජර්මන් සංචාරය අත්හිටුවීමට තීරණය කර ඇති අතර, අද දින සිදු වූ මෙම බිහිසුණු වෙඩි තැබීම් පිළිබඳව තමා අතිශයින් කම්පනයට පත්ව සිටින බව ප්‍රකාශ කර ඇත. හදිසි ඇමතුම ලැබී මිනිත්තු දෙකක් ඇතුළත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වූ බවත්, ඔවුන්ගේ ක්ෂණික මැදිහත්වීම නිසා මෙම ඛේදවාචකය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීමට හැකි වූ බවත් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත අගමැති ඩේවිඩ් ඊබි සඳහන් කළේය. පොලිස් නිලධාරීන් තමන්ගේ ජීවිත පවා අවදානමේ දමමින් පාසල තුළට කඩිනමින් ඇතුළු වී ක්‍රියා කිරීම "වීර ක්‍රියාවක්" ලෙස ඔහු අගය කළේය.




මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය නීනා ක්‍රීගර් මෙය ප්‍රාන්ත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම වෙඩි තැබීම ලෙස හැඳින්වූ අතර, විපතට පත් ප්‍රජාව සඳහා මානසික සෞඛ්‍ය උපදේශකයින් යොමු කර ඇති බව පැවසුවාය. තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකු බරපතල හෝ ජීවිතයට තර්ජනයක් විය හැකි තත්ත්වයේ පසුවන අතර, තවත් 25 දෙනෙකු පමණ සාමාන්‍ය තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටී. පොලිසිය මේ වන විටත් මියගිය අයගේ පවුල්වල ඥාතීන් දැනුවත් කරමින් සිටින අතර, පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බැවින් මහජනතාවගෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

10-dead-25-injured-in-canada-shooting

10-dead-25-injured-in-canada-shooting

10-dead-25-injured-in-canada-shooting