ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) උදෑසන නානුඔය, රදැල්ල කෙටි මාර්ගය ආශ්‍රිතව පිහිටි වතුයායන්හි සේවයේ නියුතු ජනතාව හමු වී ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය.
එම අවස්ථාවේදී වතු කම්කරුවන් විසින් ජනාධිපතිවරයාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, මෑතකදී සිදු කරන ලද තම වැටුප් වැඩි කිරීමට අදාළව ජනාධිපතිවරයා වෙත ඔවුන්ගේ විශේෂ ප්‍රණාමය සහ ස්තූතිය පුද කර සිටි බව වාර්තා වේ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම ජනතාව සඳහන් කර සිටියේ, හුදෙක් වැටුප් වැඩි කිරීමෙන් පමණක් නොනැවතී වතු කම්කරුවන්ගේ සැබෑ ගැටලු සහ ජීවන තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා වතුයායක් වෙත පැමිණි ඉතිහාසයේ එකම රාජ්‍ය නායකයා අනුර කුමාර දිසානායක මහතා බවයි.
මේ අතර රුපියල් 1750ක නව දෛනික වැටුප ඊයේ දිනයේදී අතට ලැබීමත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරු ජනතාව ද අද උදෑසන කෝවිල් වෙත ගොස් විශේෂ ආගමික වත්පිළිවෙත් සිදු කිරීමට කටයුතු කර තිබිණි.
රජයට සහ ජනාධිපතිවරයාට ආශිර්වාද පතා සිදු කළ එම පූජාවන්ගෙන් අනතුරුව ඔවුන් ඉතා සතුටින් යුතුව නැවත වැඩබිම් වෙත වාර්තා කර ඇති අතර, කිසිදු වැඩ වර්ජනයකින් හෝ අරගලයකින් තොරව ඉතිහාසයේ තමන් ලැබූ ඉහළම වැටුප් වර්ධකය මෙය බව ද ඔවුහු කෘතවේදීව සිහිපත් කළහ.