වත්මන් රජය විසින් යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට දැඩි විරෝධය පළ කරමින් එළඹෙන සඳුදා (12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
"දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ" සංවිධානයේ කැඳවුම්කරු ලෙස අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලා ගන්නා ලෙසත්, වත්මන් අධ්‍යාපන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බල කරමින් එදින පෙරවරු 9.00 සිට මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම නව ප්‍රතිසංස්කරණ මගින් දරුවන්ට නිසි අධ්‍යාපන අවස්ථා අහිමි කරමින් ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට වීරවංශ මහතා චෝදනා කළේය. විශේෂයෙන්ම නව විෂය නිර්දේශ මොඩියුල තුළට අසභ්‍ය වෙබ් අඩවි සහ යූටියුබ් නාලිකා ඇතුළත් කර තිබීම ඉතා බරපතළ හා සමාව දිය නොහැකි වරදක් බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙය හුදෙක් තාක්ෂණික මෙවලම් භාවිතය ප්‍රවර්ධනය කරමින් මුදල් ඉපැයීමේ අරමුණින් සිදුකරන සංවිධානාත්මක ජාවාරමක් බවත්, ඒ හරහා ඇතැම් වෙබ් අඩවි වෙත පිවිසීම් වැඩිකර දීමේ උත්සාහයක් පවතින බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ අනාගත පරපුරට බලපාන මෙවැනි තීරණාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු විද්‍යාත්මක ක්‍රමවේදයන් රජය විසින් නොසලකා හැර ඇති බවද විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. නියමු ව්‍යාපෘති මගින් අත්හදා බැලීමකින් හෝ විද්වතුන් සමඟ පුළුල් සංවාදයකින් තොරව හදිසියේ මෙම ප්‍රතිසංස්කරණ සකස් කිරීම හේතුවෙන් මෙවැනි බරපතළ වැරදි සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජයේ විද්වතුන්ගේ සහ සියලු පාර්ශවවල දැඩි අවධානය මේ මොහොතේ යොමු විය යුතු බව ඔහු කියා සිටියේය.
මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සාර්ථක කර ගැනීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව දරුවන්ට ආදරය කරන සියලු දෙමව්පියන්ට එක්වන ලෙස හිටපු අමාත්‍යවරයා විවෘත ආරාධනයක් සිදු කළේය. රජය විසින් මෙම හානිකර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මුළුමනින්ම හකුලා ගන්නා තුරු මෙම සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සහතික විය.