ඉරානයේ පවතින දැඩි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවදුරටත් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන ඇති අතර, මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 217 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. ටෙහෙරානයේ රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ අගනුවර රෝහල් හයක පමණක් මෙම මරණ සංඛ්‍යාව සටහන් වී ඇති බවත්, මියගිය අයගෙන් බහුතරයක් ආරක්ෂක අංශවල වෙඩි පහරවලට ලක්ව ඇති බවත්ය.
මෙම උද්ඝෝෂණ මධ්‍යයේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ නිලධාරියෙකු රජයේ රූපවාහිනිය ඔස්සේ දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ දෙමාපියන් තම දරුවන් විරෝධතාවලින් ඈත් කර තැබිය යුතු බවයි. යම් හෙයකින් දරුවන්ට වෙඩි වැදුණහොත් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන ලෙස ඔහු දැඩිව අවධාරණය කර තිබේ.විරෝධතාකරුවන් විසින් ටෙහෙරානයේ අල්-රසූල් පල්ලියට ගිනි තබා ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් රට පුරා අන්තර්ජාල සහ දුරකථන සේවා අත්හිටුවීමට පියවර ගෙන ඇත. ආරම්භයේදී ආරක්ෂක අංශ යම් ව්‍යාකූල තත්ත්වයක පසුවුවද, මේ වන විට විරෝධතා මර්දනය කිරීම සඳහා උපරිම බලය යොදවමින් සිටින බව වාර්තා වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ ඉරාන ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ඉරාන රජයට ඒ සඳහා විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවයි.
මෙම විරෝධතා රැල්ලට මූලික හේතුව වී ඇත්තේ රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය සහ ඉහළ යන ජීවන වියදමයි. ඉරාන මුදල් ඒකකය වන රියාල් හි අගය ඩොලරයට සාපේක්ෂව මිලියන 1.45 දක්වා වාර්තාගත ලෙස පහත වැටී ඇති අතර, ආහාර ද්‍රව්‍ය මිල 72% කින් සහ ඖෂධ මිල 50% කින් පමණ ඉහළ ගොස් තිබේ. මීට අමතරව, 2026 අයවැය මගින් බදු 62% කින් වැඩි කිරීමට රජය ගෙන ආ යෝජනාව ජනතා ආක්රෝෂය තවදුරටත් උත්සන්න කිරීමට හේතු වී ඇත. මෙම ආර්ථික පීඩනය හේතුවෙන් විශේෂයෙන්ම තරුණ පරම්පරාව සහ මධ්‍යම පාන්තික ජනතාව වීදි බැස සිටිති.
ජාතිය අමතමින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි ප්‍රකාශ කර ඇත්තේ මෙම විරෝධතා පිටුපස විදේශීය ඒජන්තවරුන් සිටින බවත්, ඔවුන් රට තුළ ප්‍රචණ්ඩත්වය අවුලුවන බවත්ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා සතුටු කිරීම සඳහා ඇතැම් පිරිස් පොදු දේපළවලට හානි කරන බවට චෝදනා කළ ඔහු, ඉස්ලාමීය ජනරජය විදේශීය කුමන්ත්‍රණ හමුවේ පසුබට නොවන බව අවධාරණය කළේය. කෙසේ වෙතත්, වත්මන් ජනාධිපති මසූද් පෙෂෙස්කියන් මෘදු ස්ථාවරයක් පෙන්නුම් කළද, ඔහුගේ කැබිනට් මණ්ඩලයේ බොහෝ අමාත්‍යවරුන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජයට බලපෑම් කරමින් සිටිති.
වසර 50කට ආසන්න කාලයක් ඇමෙරිකාවේ පිටුවහල්ව සිටින ඉරානයේ ඔටුන්න හිමි කුමරු රේසා පහ්ලවි, තමන් නැවත රටට පැමිණ ජනතාව සමග විරෝධතාවලට එක්වීමට සූදානම් බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ. විරෝධතාකරුවන් බොහෝ දෙනෙකු වත්මන් ආගමික පාලනය වෙනුවට ලෞකික සහ ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් ලෙස පහ්ලවිගේ පැමිණීම අපේක්ෂා කරන අතර, ඔහුගේ ආගමනය තුළින් ආර්ථික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර පිළිගැනීම ලැබෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. මේ අතර, ඉරානයේ දෙවන විශාලතම නගරය සහ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් වන මෂාද් නගරය මේ වන විට ආරක්ෂක අංශ අතහැර දමා ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම විරෝධතාකරුවන්ගේ පාලනයට නතුව ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.