wife-of-former-ccd-chief-nishamani-who-was-captured-from-dubai

ජාත්‍යන්තර රතු වරෙන්තු මත ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු සහ මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළ කාන්තාවක් පසුගිය 16 වැනිදා ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබීය. මෙලෙස රැගෙන ආ කාන්තාව කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු ස්ථානාධිපතිවරයෙකුගේ බිරිඳ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර සිටී.




ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නිශාමනි ද සිල්වා නැමැති මෙම කාන්තාව, විදේශ තානාපති කාර්යාලයක සේවය කරමින් සිටියදී 2014 වසරේ සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නියකි. රජයේ මුදල් රුපියල් දස ලක්ෂයක් පමණ වංචා කිරීමේ චෝදනාවට ඇය වරදකරු කරමින් කොළඹ මහාධිකරණය මගින් සිර දඬුමව් සහ දඩ නියම කර තිබුණද, ඇය දීර්ඝ කාලයක් තිස්සේ නීතිය මගහරිමින් ඩුබායිහි සැඟවී සිට ඇත.

මෙම සැකකාරිය ඩුබායි පොලිසියට හසුවන විට ඇයගේ සැමියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ද සේවයෙන් වැඩ තහනමකට ලක්ව සිටි බව පොලිස් ආරංචි මාර්ග පවසයි. වැලිගම පිහිටි W 15 හෝටලයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ කණ්ඩායම මෙහෙයවීම හේතුවෙන් ඔහු මෙලෙස වැඩ තහනමකට ලක්ව සිටින අතර, එම කාලය තුළ ඔහුගේ බිරිඳ විදෙස්ගතව සැඟවී සිට තිබේ.




ඇය සමඟ මෙරටට රැගෙන ආ පාතාල ක්‍රියාකාරිකයෙකු වන 52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ හෙවත් 'පුංචා', කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පසුගිය වසරේ ජූලි මාසයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ලේකම්වරයෙකු වූ සමීර නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකි. එම වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තිබූ අතර, මේ වන විට සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කැලණිය පොලිස් කොට්ඨාසය වෙත භාර දී ඇත.

අනෙක් සැකකරු වන කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර හෙවත් 'ඌරගහ චූටි මල්ලි' ඇල්පිටිය සහ ඌරස්මංහන්දිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ අයෙකු බව පොලිසිය පවසයි. තිස් හැවිරිදි වියේ පසුවන ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් රැසකට සම්බන්ධ අයෙකු වන අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහුව ඇල්පිටිය පොලිස් කොට්ඨාසය වෙත භාර දී තිබේ.

biriyalu-of-former-ccd-chief-nishamani-who-was-captured-from-dubai