පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම උදෙසා ඩුබායි රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් එක්රැස් කරන ලද ආධාර කන්ටේනර් තොගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් සේනාරත්නගේ මූලිකත්වයෙන් සිදුවූ මෙම ආධාර එක්රැස් කිරීමේ ක්‍රියාවලියේදී කන්ටේනර් 4 ක් වෙනුවට එක් කන්ටේනරයක් පමණක් ලංකාවට පැමිණ ඇති බවටත්, ඒවා දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිතා වන බවටත් විවිධ පාර්ශව විසින් චෝදනා එල්ල කරන ලදී.
කෙසේ වෙතත්, මෙම චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් අදාළ පාර්ශව සඳහන් කරන්නේ ඩුබායි හි ශ්‍රී ලාංකිකයින් මහන්සියෙන් උපයාගත් ධනයෙන් ලබා දුන් මෙම භාණ්ඩ තොගය මේ වන විට නිල වශයෙන් රේගු කටයුතු නිම කර නිදහස් කරගෙන ඇති බවයි.මෙම ආධාර බෙදා හැරීමේ ප්‍රමාදය සහ විනිවිදභාවය පිළිබඳව මතු වූ ප්‍රශ්න හමුවේ "බඩු කෝ" යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරක රැල්ලක් දියත් වී තිබුණි. ඊට ප්‍රතිචාර දක්වමින් අශේන් සේනාරත්න පවසා සිටියේ තමාට එරෙහිව මඩ ප්‍රචාර දියත් කළද, රෝයල් කාගෝ (Royal Cargo) ආයතනයේ පූර්ණ අනුග්‍රහය සහ මැදිහත්වීම මත අදාළ බඩු භාණ්ඩ නීත්‍යානුකූලව නිදහස් කර ගැනීමට කටයුතු කළ බවයි. රුපියල් ලක්ෂ විසිපහකට අධික ප්‍රවාහන වියදමක් දරමින් රෝයල් කාගෝ ආයතනය විසින් මෙම කන්ටේනර් හතරම කිසිදු අය කිරීමකින් තොරව ලංකාවට ප්‍රවාහනය කර ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධීක්ෂණය යටතේ රේගු දෙපාර්තමේන්තුවේ නිසි විධිවිධාන අනුගමනය කරමින් මෙම භාණ්ඩ නිදහස් කරගත් බව ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් ඩුබායි හි වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් චෝදනා කරන්නේ අශේන් සේනාරත්න විසින් මෙම සත්කාරය සඳහා දායක වූ එස්.එල් රයිඩර්ස් (SL Riders) වැනි අනෙකුත් කණ්ඩායම් සහ සාමාන්‍ය ශ්‍රමිකයින්ගේ දායකත්වය අමතක කර, මෙය තනි පුද්ගල ප්‍රතිරූප නාටකයක් බවට පත් කරගෙන ඇති බවයි. ඩුබායිහි රැකියාවල නියුතු අහිංසක මිනිසුන් තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයාගත් ඩිරාම් සුළු මුදල පවා වැය කර ලබා දුන් භාණ්ඩ පිළිබඳව විමසන විට, ඔවුන්ව සමාජ මාධ්‍ය ඔස්සේ අවහිර කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද ඔවුහු අශේන්ට දොස් පවරති. රතු කුරුස සංවිධානය වෙත භාණ්ඩ භාර දෙන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණද, පසුව එම ස්ථාවරය වෙනස් වීම සහ දේශපාලන සම්බන්ධතා මත භාණ්ඩ බෙදා හැරීමට උත්සාහ කිරීම වැනි කරුණු මුල් කරගෙන මෙම විරෝධතාවය ගොඩනැගී ඇත.
මෙම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන අශේන් සේනාරත්න අවධාරණය කරන්නේ තමා කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් මෙම කටයුත්ත සිදු නොකරන බවත්, ඇතැම් පිරිස් ව්‍යාජ ගිණුම් හරහා පැමිණ මෙම වැඩසටහන කඩාකප්පල් කිරීමට සහ රේගු නිදහස් කිරීම් ප්‍රමාද කිරීමට උත්සාහ කළ බවත්ය. වරාය අධිකාරියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පෙත්සම් ගසමින් බාධා පැමිණවූවද, අවසානයේදී නීත්‍යානුකූල ලෙස භාණ්ඩ නිදහස් කර ගැනීමට හැකි වූ බවත්, ඒවා තමාගේ පෞද්ගලික පරිහරණයට නොව විපතට පත් ජනතාව වෙතම යොමු කෙරෙන බවත් ඔහු සහතික වෙයි. ඉදිරි දින කිහිපය තුළ මෙම බිස්කට් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හරින ආකාරය වීඩියෝ සාක්ෂි සහිතව ඉදිරිපත් කරන බව පවසන ඔහු, විවේචකයින්ට ඇත්තේ එම ක්‍රියාවලිය දෙස බලා සිටීම පමණක් බවද ප්‍රකාශ කර සිටී.