18-rat-fever-patients-die-in-minuwangoda

මිනුවන්ගොඩ කොට්ඨාසයේ ගංවතුරට යටවූ ප්‍රදේශවලින් මී උණ රෝගීන් දහඅට දෙනෙකු සහ එක් මරණයක් වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් සමරසේකර මහතා මේ බව සඳහන් කළේය.




වෛද්‍ය සමරසේකර මහතා පෙන්වා දෙන්නේ, මෙම රෝගීන් හෝ මියගිය පුද්ගලයා ගොවියන් නොවන බවත්, ඔවුන් මෑතකදී ඇති වූ ජල ගැලීම්වලදී ගංවතුරට බැස ගැවසුණු අය බවත්ය. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු වන අතර, අනෙකුත් රෝගීන් අවුරුදු 50ට වැඩි පුද්ගලයන් වේ.

මෙම රෝගීන් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත්තේ මිනුවන්ගොඩ කොට්ඨාසයේ ගංවතුරට යටවූ අස්ගිරිය, කොටුගොඩ සහ ඕපාත ඇතුළු අවට ප්‍රදේශවලිනි.




මී උණ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු පියවරක් ලෙස, වගුරු බිම්, ගංවතුර, ජලාශ හෝ කානු පද්ධතිවලට බැසීමට පෙර මෙන්ම මීයන් ගැවසෙන අනාරක්ෂිත ප්‍රදේශවල වැඩ කටයුතු කිරීමට පෙර නොමිලේ ලබාදෙන ඖෂධය පානය කිරීම අනිවාර්ය බව වෛද්‍ය දයාන් සමරසේකර මහතා තරයේ අවධාරණය කරයි. මෙම වැළැක්වීමේ ඖෂධය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් (PHI) හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නොමිලේ ලබාගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.