රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මගහැරීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන්ට ද මීළඟ නඩු වාරයේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පැමිණෙන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.
2010 වසරේ සිට 2015 දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී අයථා ලෙස මුදල් හා දේපළ උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති මෙම නඩුවේ වැඩිදුර විභාගය 2026 වසරේ ජනවාරි මස 20 වන දින පැවැත්වීමට දින නියම කර ඇත.
මෙම නඩුවට අමතරව ජාතික නිදහස් පෙරමුණ වෙත රජයේ වාහන 40ක් ලබා දී ඒවා අවභාවිත කිරීම මගින් රජයට රුපියල් මිලියන 09ක අලාභයක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද හිටපු අමාත්‍යවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණි.
මෙලෙස අපරාධ නඩු කිහිපයකට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරයා, පසුගිය දිනවල රටේ අවධානය ලබාගන්නට සත්‍යග්‍රහයක නිරතවූ අතර මේ සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවකදී ඉඟි කරමින් කියා සිටියේ 'සමහරු නඩු දින ළංවෙද්දි උපවාස කරනවා' යනුවෙනි.