අගුලාන පොලිසිය විසින් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය විසිහතර හැවිරිදි තරුණියකට කොස්සකින් හා අතින් පයින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාව මත ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වාද්දුව, කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි හේශලා කාවින්දි සිල්වා නම් තරුණියයි.
මෙම අපරාධයෙන් පසු පලාගොස් සැඟවී සිටි සැකකරු දින දෙකකට පසුව පෙරේදා (28) සවස පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනිණි. මෙම ඝාතනය අගුලාන සයුරුපුර මහල් අටකින් යුත් නිවාස සංකීර්ණයේ ඉහළම මාලයේ පිහිටි විදුලි සෝපාන පාලන කාමරය තුළදී සිදුවී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු එක්දරු පියෙකු වන අතර ඔහු තම බිරියගෙන් වෙන්ව ජීවත් වන බවයි. ඔහු මීට මාස අටකට පමණ පෙර සිට මියගිය තරුණිය සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ඔහු, තරුණියගෙන් මුදල් ලබාගෙන ඇයවද එම ක්‍රියාවට පොළඹවාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත. මේ හේතුවෙන් තරුණියගේ දෙමාපියන් ඇයව නැවත නිවසට භාරගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලින් තවදුරටත් හෙළි වී ඇත්තේ, අගුලාන සයුර මහල් නිවාස සංකීර්ණයේම නිවසක සැකකරුගේ සහෝදරයෙකු ජීවත් වන බවත්, මව ඒ ආසන්නයේම තවත් නිවසක ජීවත් වන බවත්ය. තරුණියට ආහාරපාන පවා ලබා දී ඇත්තේ මවගේ හෝ සහෝදරයාගේ නිවසින් බවද පොලිසිය පවසයි. සිද්ධිය වූ දින, එනම් ඉකුත් 26 වැනිදා සවස් කාලයේදී, මොවුන් දෙදෙනා සයුර මහල් අටකින් යුත් නිවාස සංකීර්ණයේ ‘ජී’ කොටසේ ඉහළම මාලයේ මුදුනත රැඳී සිට ඇත. එහිදී විදුලි සෝපාන පාලන කාමරය තුළදී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස්, සැකකරු තරුණියට කොස්සකින් සහ අතින් පයින් පහර දී පලාගොස් තිබේ.
සිද්ධියෙන් පසුදින දහවල් කාලයේදී, තරුණියක් කොන්ක්‍රීට් තට්ටුවක් මත වැටී සිටින බවට ලද තොරතුරකට අනුව, පොලිස් නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත. එහිදී ඇය මියගොස් ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කෙරිණි.
මියගිය තරුණියගේ ශරීරය පුරා තැලීම් තුවාල රැසක් දක්නට ලැබුණු අතර, ශරීරය නිල් පැහැ ගැන්වී තිබූ බව පොලිසිය ප්‍රකාශ කරයි. මෘත ශරීරය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් විසිහය හැවිරිදි සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.