හොරණ ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ ජීවිතය අහිමි කළ යතුරුපැදි ධාවන තරඟයක් වීඩියෝ ගත කර සංවිධානය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් සිවුදෙනෙකු පෙබරවාරි මස 2 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා පසුගියදා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ, වයස අවුරුදු 20ත් 21ත් අතර වයසේ පසුවන තරුණයන් සිවුදෙනෙකි. ඔවුන්, හොරණ රත්මල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මද්දුමාගේ ගයාශාන් මදුශංක සහ උමේශ මාදව, බටගොඩ, ගල්පාත ප්‍රදේශයේ පදිංචි බමුණුගේ යසිඳු දෙව්මිත, සහ කරදන ප්‍රදේශයේ පදිංචි යසිදු ශාන්ත බණ්ඩාර යන අයයි.
හොරණ මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති විමල් ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, හොරණ ඉළිඹ ප්‍රදේශයේදී මෙම යතුරුපැදි ධාවන තරඟය වීඩියෝ ගත කර සංවිධානය කර ඇත්තේ මෙම සැකකරුවන් සිවුදෙනා බවට අධිකරණය හමුවේ අනාවරණය විය. මෙම අනතුරෙන් 17 හැවිරිදි සිසුවකු මියගිය අතර, 21 හැවිරිදි තරුණයකු තුවාල ලැබීය.
මෙම යතුරුපැදි ධාවන තරඟයේදී සසිඳු දෙව්මිත් ප්‍රසන්න නමැති 17 හැවිරිදි සිසුවා මරණයට පත් වූ අතර, බරපතළ තුවාල ලැබූ 21 හැවිරිදි තරුණයා මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව අධිකරණයට වාර්තා විය. මේ අතර, මෙම තරගය සංවිධානය කළ සහ ඊට සහභාගී වූ තරුණයන් කිහිප දෙනෙකු දැනටමත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. තවද, මියගිය සිසුවාගේ අවමංගල්‍ය පෙරහරේදී තනි රෝදයෙන් යතුරුපැදි ධාවනය කළ සහ හිස් ආවරණ නොමැතිව ධාවනයේ යෙදුණු තරුණයන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ මූලස්ථාන පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.