the-father-of-the-police-sergeant-who-assaulted-the-young-man-who-had-problems-with-his-daughter-from-the-bus-was-arrested

පාසල් නිම වී යමින් සිටි සිය දියණියට පහර දීමක් සම්බන්ධයෙන් උරණ වී, 14 හැවිරිදි පාසල් සිසුවකු ගමන් ගත් බස් රථයකින් බලහත්කාරයෙන් පිටතට ගෙන පහර දුන් බව කියන පොලිස් සැරයන්වරයකු හෙට්ටිපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් අදාළ සිසුවාගේ කන ප්‍රදේශයට පහර දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.




මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක සේවය කරන නිලධාරියෙකි. පහර කෑමට ලක් වූ දාහතර හැවිරිදි සිසුවා විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විමර්ශන පවත්වා සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිසුවා පාසල් නිම වී බස් රථයෙන් නිවස බලා යමින් සිටියදී, එම බස් රථයේම සිටි සැරයන්වරයාගේ දියණියට පහර දී ඇති බවට ඇය විසින් නිවාඩු ලබා නිවසේ සිටි තම පියාට පවසා තිබේ. එම තොරතුර මත ක්‍රියාත්මක වූ සැරයන්වරයා තවත් හිතවතුන් දෙදෙනෙකු සමඟ මෝටර් රථයකින් පැමිණ සිසුවා ගමන් ගත් බස් රථය මග හරස් කර නවත්වා ගෙන ඇති බව පොලිසිය පවසයි.




අනතුරුව බස් රථය තුළ සිටි සිසුවා බලහත්කාරයෙන් ඉන් පිටතට ගෙන ඇති සැරයන්වරයා ඔහුට පහර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (30) දිනය දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.