දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ජලයෙන් යටවූ හෝ අර්ධ වශයෙන් හානි වූ නිවාස යළි පිළිසකරු කරගැනීම වෙනුවෙන් රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක මූලික දීමනාව ලබා ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර ඇති අයදුම්පත් රැසක විවිධ ගැටලු පවතින බව කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනාවරණය කරයි. එම කාර්යාලය නිකුත් කර ඇති දත්තවලට අනුව අදාළ මූලික ගෙවීම ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පත් 1,429ක විවිධ අඩුපාඩු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
එසේම ඉදිරිපත් වූ අයදුම්පත් අතුරින් 1,169ක් ප්‍රතික්ෂේප වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ අයදුම්කරුවන් 48,974 දෙනෙකු සඳහා මෙම මූලික ගෙවීම් මේ වන විටත් සිදුකර අවසන්ය.
මේ අතර මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීම සඳහා රජය මගින් පිරිනමන රුපියල් 50,000ක දීමනාව ලබා ගැනීමට අයදුම්කරුවන් 27,683 දෙනෙකු අයදුම් කර තිබුණද ඉන් මුදල් ගෙවා ඇත්තේ 7,633 දෙනෙකුට පමණක් බව දත්ත වාර්තා පෙන්වා දෙයි. මෙම කාර්යය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් 962,900,000කි.
තවද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රජය මගින් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 2,811 දෙනෙකුට පමණක් ගෙවා ඇති බව අනාවරණය වී තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් කොළඹ දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් මෙම සහන සැලසීමට වෙන්කර ඇති මුදල රුපියල් 940,365,000ක් බව වාර්තා වේ.