අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීම දෙමළ ජාතික සන්ධානයේ අකමැත්ත නිසා තවදුරටත් ප්‍රමාද වී තිබේ. ඒ අනුව අදාළ යෝජනාව භාරදීමේ කටයුතු ලබන පාර්ලිමේන්තු සතිය දක්වා කල් තැබීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර සැලසුම් කර තිබුණේ මෙම විශ්වාසභංග යෝජනාව පසුගිය සතියේදී කතානායකවරයා වෙත නිල වශයෙන් භාරදීමටයි. මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සඳහන් කර සිටියේ, යෝජනාව සඳහා තවත් මන්ත්‍රී අත්සන් කිහිපයක් ලබා ගැනීමට ඉතිරිව ඇති බැවින් මෙම ප්‍රමාදය සිදුවන බවයි.
දැනටමත් මෙම යෝජනාව සඳහා විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක නායකයින්ගේ සහාය හිමිව ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජන බලය මෙන්ම සමගි ජන බලවේගය සමඟ සන්ධානගතව සිටින හවුල්කාර පක්ෂවල නායකයින් ද මීට අත්සන් තබා ඇති බව අලවතුවල මන්ත්‍රීවරයා තහවුරු කළේය.
කෙසේ වෙතත්, මෙම විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබා නොදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත. එම සන්ධානයේ නායක එස්. ශ්‍රීධරන් මහතා ඊයේ (12) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අවධාරණය කළේ තම පක්ෂය අදාළ යෝජනාවට පක්ෂව කටයුතු නොකරන බවයි.
මෑතකාලීනව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයන් පදනම් කරගනිමින් මෙම විශ්වාසභංගය ගෙන ඒමට විපක්ෂය කටයුතු සූදානම් කර ඇත. විශේෂයෙන්ම මොඩියුල ක්‍රමවේදය සම්බන්ධ ගැටලුව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෙනත් බරපතල ගැටලු මුල් කරගනිමින්, විෂය භාර අමාත්‍යවරිය ලෙස අගමැතිනිය ඉලක්ක කර මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.