
කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි ටයර් අලෙවිසැලක නාම පුවරුවක් සවිකරමින් සිටියදී එය අධි බලැති විදුලි රැහැනක් මතට වැටීමෙන් විදුලි සැර වැදී තුවාල ලැබූ සේවකයින් තිදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කොට්ටාව පොලීසිය සඳහන් කරයි. මෙම අනතුරින් පිළිස්සුම් තුවාල ලැබූ සේවකයින් තිදෙනා, තුම්මෝදර උඩුවර සහ බුලත්කොහුපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස අවුරුදු 28 සහ 32 ක් බව පොලීසිය වැඩිදුරටත් කියා සිටී.
මෙම සිද්ධිය ඊයේ (අප්‍රේල් 5) දහවල් වාර්තා විය. අදාළ වෙළෙඳසැලේ නාම පුවරුව සවි කිරීම සඳහා සේවකයින් තිදෙනා ගොඩනැගිල්ලේ තහඩු වහලය මතට නැග තිබේ. පුවරුව සවි කරමින් සිටියදී හදිසියේ හමා ආ සුළඟක් හේතුවෙන් ඔවුන්ට සමබරතාව අහිමි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, නාම පුවරුව යාබදව පිහිටි අධි බලැති විදුලි රැහැනක් මතට වැටී මෙම අනතුර සිදුව ඇත.
විදුලි සැර වැදීමත් සමඟ විශාල ශබ්දයක් ඇති වූ අතර, විදුලි සැර වැදුණු සේවකයින් තිදෙනාම පිළිස්සුම් තුවාල සහිතව තහඩු වහලය මතට ඇද වැටී ඇත. අනතුර සිදුවූ වහාම වෙළෙඳසැලේ සිටි අනෙකුත් සේවකයින් වහලය මතට නැගී, තුවාල ලැබූවන් ආරක්ෂිතව බිමට ගෙන ඇත. පසුව, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
තුවාල ලැබූ තිදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුළත් කර ඇති අතර, අනෙක් දෙදෙනා සාමාන්‍ය වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ද සොයිසා මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.