asp-and-sergeant-caught-in-bribery-incident

අල්ලස් චෝදනා යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ පොලිස් සැරයන්වරියක ඊයේ (05) දහවල් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.




අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට අනුයුක්ත පොලිස් සැරයන්වරියකි.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළේ පොලිස් කොස්තාපල්වරයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වැටලීමක් සිදුකිරීමෙන් අනතුරුව බව කොමිසමේ උසස් නිලධාරියෙකු 'ලංකාදීප' පුවත්පතට ප්‍රකාශ කළේය.




මඩකලපුව පොලිස් අධිකාරිවරයාගෙන් අවසරය ලබාගෙන නිර්දේශ ලබාදීම සඳහා, වෙලාවලි පොලිසියේ සේවය කරන අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් රුපියල් 72,000ක මුදලක් සහ ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය අල්ලස් වශයෙන් ලබාගත් බවට මෙම නුවරඑළිය සහකාර පොලිස් අධිකාරිවරයාට චෝදනා එල්ල වී ඇත. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලය තුළදී බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, එම පොලිස් කොස්තාපල්වරයාගෙන් ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය අල්ලස් වශයෙන් ලබාගත් බවට චෝදනා එල්ල වන පොලිස් සැරයන්වරියද මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.



අත්අඩංගුවට ගත් මෙම සහකාර පොලිස් අධිකාරිවරයා සහ කාන්තා පොලිස් සැරයන්වරිය සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ පවත්වති.