those-who-have-left-the-wildlife-are-attacking-us-with-safari-vehicles-allegations-from-which-safari-vehicle-drivers

වනජීවි දෙපාර්තමේන්තුවේ සේවය කර ඉවත් වූ පිරිසක් කුමන ජාතික වනෝද්‍යානයේ සංචාරක සෆාරි සේවාව ආක්‍රමණය කරමින් සිටින බවටත්, ඒ හරහා පාරම්පරිකව එම රැකියාවේ නිරත පානම ගම්මානයේ තරුණයින්ගේ ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවටත් පානම සෆාරි ජීප් රථ සංගමය චෝදනා කරයි. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගත් කුමන ජාතික වනෝද්‍යානය කොටින් නැරඹීම සහ කුරුළු පාරාදීසයක් ලෙස ප්‍රකටව පවතින අතර, වර්තමානය වන විට පානම ගම්මානයේ තරුණ පිරිස් සතු ජීප් රථ 40ක් පමණ මෙම කර්මාන්තය සඳහා යොදවා තිබේ.




යුධ සමයේදී පවා ගම්බිම් අතහැර නොගොස් එම ප්‍රදේශය හා පරිසර පද්ධතිය රැකගත් පානම ගම්වාසීන්ගේ දරුවන් මෙම කර්මාන්තය තම ප්‍රධාන ජීවනෝපාය කරගෙන සිටින බව කුමන ජීප් රථ සංගමයේ නිලධාරීහු පෙන්වා දෙති. එහෙත් මෑතක සිට වනජීවි දෙපාර්තමේන්තුවේ සේවයෙන් ඉවත් වූ පුද්ගලයන් කිහිප දෙනෙකු පිටතින් පැමිණෙන ධනවත් ව්‍යාපාරිකයන් සහ වෛද්‍යවරුන් වැනි පිරිස්වල ජීප් රථ යොදවා මෙම ව්‍යාපාරයට අවතීර්ණ වී ඇති බවට ගම්වාසීහු මැසිවිලි නගති. මුලින් එක් රථයක් පමණක් යොදවා මෙම කටයුත්ත ආරම්භ කළ විට තමන් ඊට මානුෂීයව විරුද්ධ නොවූ නමුත්, මේ වන විට ඔවුන් එම සංඛ්‍යාව ජීප් රථ තුනක් දක්වා වැඩි කරමින් සාමාන්‍ය රියදුරන්ගේ ආර්ථිකයට පහර ගසමින් සිටින බව සංගමයේ ලේකම්වරයා සඳහන් කරයි.

එමෙන්ම කුමන උද්‍යානය තුළ ඇති සංචාරක බංගලා වෙන් කර ගැනීමේදී සාමාන්‍ය ජීප් රථ රියදුරන්ට අවස්ථාවක් නොලැබුණද, වනජීවියෙන් ඉවත් වූ මෙම පිරිසට සිය පැරණි සේවා සබඳතා මත ඉතා පහසුවෙන් එම නවාතැන් පහසුකම් වෙන් කරවා ගත හැකි බවට ද පානම සෆාරි සංගමය චෝදනා කරයි. මෙවැනි විෂමාචාර ක්‍රියා හේතුවෙන් තම වෘත්තිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, මේ පිළිබඳව දිසාපතිවරයා සහ වනජීවි සහකාර අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඔවුහු පවසති.




මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නැගෙනහිර වනජීවි සහකාර අධ්‍යක්ෂ ප්‍රසාන්ත විමලදාස මහතා ප්‍රකාශ කළේ, දැනට වනජීවි දෙපාර්තමේන්තුවේ සේවය කරන කිසිදු නිලධාරියෙකු සෆාරි ජීප් රථ ව්‍යාපාරයේ නිරත නොවන බවයි. සේවයෙන් ඉවත් වූ පිරිසක් මෙය සිදු කරන බවට වාර්තා වී ඇති බව පිළිගත් ඒ මහතා, ජීප් රථ රියදුරන්ගේ අභ්‍යන්තර ගැටලු ඔවුන් විසින්ම විසඳා ගත යුතු බවත්, සංචාරක බංගලා වෙන් කිරීම හුදෙක් අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදුවන විනිවිද පෙනෙන ක්‍රියාවලියක් බවත් අවධාරණය කළේය.

news-2026-01-12-042446