eyewitness-account-of-the-accident-that-killed-four-members-of-the-same-family-on-the-abu-dhabi-dubai-expressway

පසුගිය ජනවාරි 02 වැනිදා අලුයම අබුඩාබි සහ ඩුබායි දේශසීමාවේ අල් ගන්ටූත් (Al Ghantoot) ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු රිය අනතුරකින් එකම පවුලේ ඉන්දියානු ජාතික සහෝදරයන් සිව් දෙනෙකු සහ ඔවුන්ගේ ගෘහ සේවිකාව ජීවිතක්ෂයට පත්වූ ශෝකජනක සිදුවීම පිළිබඳව ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු ගල්ෆ් නිව්ස් (Gulf News) පුවත් සේවය වෙත අදහස් දක්වා තිබේ. ඩුබායි හි පදිංචි 24 හැවිරිදි ගුවන් යානා ඉංජිනේරුවරියක සහ ඇගේ පියා මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිට ඇති අතර, තමන් දුටු එම භයංකර දසුන් තවමත් ඔවුන්ගේ මතකයෙන් ඈත් නොවන බව ඔවුහු ප්‍රකාශ කරති.

මෙම අනතුරින් අෂාස් (14), අම්මාර් (12), අසාම් (7) සහ අයියාෂ් (5) යන සහෝදරයන් හතර දෙනාත්, බුෂ්රා ෆයාස් (49) නම් ගෘහ සේවිකාවත් මියගිය අතර, දරුවන්ගේ මව්පියන් වන අබ්දුල් ලතීෆ් සහ රුක්සානා ද, ඔවුන්ගේ 10 හැවිරිදි දියණිය වන ඉසා ද දිවි ගලවා ගත්හ.




අනතුර සිදුවූ දිනයේ අලුයම 4.30ට පමණ මෙම ඇසින් දුටු පියා සහ දියණිය, සිය පවුලේ සාමාජිකයෙකු ගුවන් තොටුපළට ඇරලවා නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථය එකවරම පාලනයෙන් ගිලිහී දකුණු දෙසට පෙරළී යන ආකාරය දැක ඇත. වේගයෙන් පෙරළී ගිය මෝටර් රථයේ ටයරයක් ගැලවී තමන් දෙසට විසිවී ආ බවත්, ක්ෂණිකව තිරිංග තද කිරීම නිසා තමන් අනූනවයෙන් බේරුණු බවත් එම පියා විස්තර කර තිබේ. අනතුරට ලක්වූ මෝටර් රථය කිහිප වරක් පෙරළී ගොස් නැවත යථා තත්ත්වයට පත්වී නතර වී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ සාක්ෂිකරුවන් 999 අමතා පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඔවුන් වහාම අනතුරට පත් වාහනය වෙත දිව ගොස් ඇති අතර, එහිදී දැක ඇත්තේ ඉතා ශෝකජනක දසුනකි. එක් දරුවෙකු මාර්ගයේ වැටී සිටි අතර, තවත් දරුවෙකු සහ ගෘහ සේවිකාව මාර්ගයෙන් ඉවතට වැලි සහිත ප්‍රදේශයට විසිවී ගොස් නිසලව සිටිනු ඔවුන් දැක ඇත. කෙසේ වෙතත්, මෝටර් රථයේ ඉදිරිපස අසුන්වල සිටි මව සහ පියා ආසන පටි (Seatbelts) පැළඳ සිටි බැවින් ඔවුන් මෝටර් රථයෙන් ඉවතට විසි නොවී ආරක්ෂා වී සිටි බවත්, වායු බැලූන (Airbags) ක්‍රියාත්මක වී තිබූ බවත් සාක්ෂිකරුවන් පවසයි. පසුපස අසුන්වල සිටි දරුවන් සහ සේවිකාව ආසන පටි පැළඳ නොසිටීම හේතුවෙන්, රථය පෙරළෙන අවස්ථාවේදී ඔවුන් කැඩී ගිය ජනේල හෝ වහලය (Sunroof) තුළින් පිටතට විසිවී යන්නට ඇති බවට ඇසින් දුටු සාක්ෂිකරුවෝ විශ්වාස කරති.




විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළ පොලිසිය සහ ගිලන් රථ එම ස්ථානයට පැමිණ ඇති අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මෝටර් රථය කපා ඉවත් කරන විට කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසී තිබේ. ඒ අනුව මෝටර් රථය තුළ සිරවී සිටි 10 හැවිරිදි ඉසා නම් දියණිය බේරා ගැනීමට හැකි වී ඇති අතර, ඇය සිටින බව සාක්ෂිකරුවන් මුලින් දැන සිට නැත. තුවාල ලැබූ දෙමව්පියන්ගෙන් ලද තොරතුරු මත පොලිසිය ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී, වාහනයෙන් ඉවතට විසිවී ගොස් සිටි තවත් දරුවන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එම මෝටර් රථයට ඉදිරියෙන් කළු පැහැති ටැක්සි රථයක් ගමන් කර ඇති අතර, අනතුරට පත් රථය ගැටීමෙන් එම ටැක්සි රථයටද සුළු හානි සිදුවී තිබූ බව සාක්ෂිකරුවන් සඳහන් කරයි.

මෙම අනතුරින් දිවි ගලවා ගත් මව වන රුක්සානා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ඇය දැනට ඩුබායි හි පිහිටි ඥාතියෙකුගේ නිවසේ විවේක සුවයෙන් පසුවෙයි. අනතුරින් තමන්ට සිටි සොහොයුරන් සිව්දෙනාම අහිමි වූ බව 10 හැවිරිදි ඉසා දියණියට මේ වන විට දැනුම් දී ඇති අතර, එය පවුලේ අයට අතිශය වේදනාකාරී අවස්ථාවක් වූ බව ඥාතීන් පැවසීය. මෙම ඛේදවාචකය පිළිබඳව දැඩි කම්පනයට පත්ව සිටින ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ, පසුපස ආසනවල සිටින මගීන් ද අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳ සිටියේ නම් මෙම ජීවිත විනාශය වළක්වා ගැනීමට ඉඩ තිබූ බවයි.

news-2026-01-09-032829

news-2026-01-09-032829

news-2026-01-09-032829

news-2026-01-09-032829