there-is-no-government-discussion-to-remove-the-attorney-general

වත්මන් නීතිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීම හෝ ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන විවිධ මතවාද සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.




නීතිපතිවරයා ඉවත් කිරීමේ සූදානමක් පවතින්නේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නීතිපතිවරයා ඉවත් කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය තුළ කිසිදු අවස්ථාවක කතාබහක් නිර්මාණය නොවූ බවයි.

මෑතකාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකාවල විවිධ සංවාද ගොඩනැගී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇතැම් පාර්ශව නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට තර්ක කරන අතරතුර තවත් පිරිසක් ඔහු ඉවත් කළ යුතු බවට මත පළ කරන බව පැවසීය. එමෙන්ම අධිකරණ අමාත්‍යවරයා ද ධුරයෙන් ඉවත් කළ යුතු බවට ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන බව හෙතෙම සිහිපත් කළේය.




කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය තුළ පළවන මෙම අදහස් සහ රජයේ නිල ස්ථාවරය අතර කිසිදු සබඳතාවක් නොමැති බව අමාත්‍යවරයා පැහැදිලි කළ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කරුණු අදාළ පුද්ගලයන්ගේ නිර්මාණ බවත් රජය ඊට සම්බන්ධ නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

වංචා හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අධිකරණ අමාත්‍යවරයාට හෝ වෙනත් ඕනෑම අයෙකුට එරෙහිව දූෂණ චෝදනා පවතින්නේ නම් රටේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන බවයි. ඕනෑම අයෙකුට අදාළ බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.



පුරවැසියන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බව පිළිගන්නා අතරම, රජයක් ලෙස නීතිපතිවරයා ඉවත් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් කිසිදු නිල සාකච්ඡාවක් පවත්වා නොමැති බව අධිකරණ අමාත්‍යවරයා නැවතත් තහවුරු කළේය.