ගාල්ල අහංගම පොලිස් වසමට අයත් පෑලැස්ස ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කබානා ව්‍යාපෘතියක සේවය කළ පුද්ගලයින් තිදෙනෙකු පස් කණ්ඩියක් කඩා වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (22) රාත්‍රී කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර අදාළ ස්ථානයේ කාණුවක් සකස් කරමින් සිටි සේවකයින් පිරිසක් මෙලෙස අනතුරට මුහුණ පා ඇත.
පුද්ගලික ඉඩමක සිදුකෙරෙන මෙම ඉදිකිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පස් කපා ඉවත් කර තිබූ අතර, එම පස් කණ්ඩිය අයිනෙන් කාණුවක් කපමින් සිටියදී එක්වරම පස් කණ්ඩිය කඩා වැටී සේවකයින් ඊට යටවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පස් කණ්ඩියට යටවීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සේවකයින් තිදෙනා කඩිනමින් ගොන්නගහේන රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ මාතර, මැදිරිගිරිය සහ පදියතලාව යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකු බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත. පෑලැස්ස යටිගහ කැලේ ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇති අතර මෘත ශරීර මේ වන විට අහංගම රෝහලේ තැන්පත් කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් වාර්තා වේ.








