there-is-no-change-in-bank-interest

මෙම වසර තුළ වාහන සඳහා පවතින ඉල්ලුම පහළ යනු ඇතැයි පූර්ව නිගමන පැවතියද, වාහන ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක පමණ මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 46,424 ක පමණ අගයක් ගන්නා මෙම වියදම පිළිබඳව මහ බැංකු අධිපතිවරයා කරුණු අනාවරණය කළේ ඊයේ මහ බැංකු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.




වසර පහකට පමණ පසුව ඉකුත් පෙබරවාරි මාසයේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමගම පසුගිය වසරේදී වාහන 360,117 ක් මෙරටට ආනයනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 200 ක (රුපියල් කෝටි 61,898 ක් පමණ) මුදලක් ශ්‍රී ලංකාව වැය කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. පසුගිය වසරේ සිදුවූ මෙම විශාල ආනයනය හේතුවෙන් මේ වසරේ ඉල්ලුම අඩු වනු ඇතැයි සිතුවද, 2026 සහ 2027 මූල්‍ය වර්ෂවලදී ද වාහන ආනයනය වෙනුවෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුවනු ඇති බව අධිපතිවරයාගේ අදහස විය.

මේ අතර 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ බලපෑම මෙම වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගයට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා නොකරන බව ද හෙතෙම අවධාරණය කළේය. ඒ අනුව මෙම වසරේදී ශ්‍රී ලංකාව සියයට 4 ත් 5 ත් අතර ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.




එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ මෙරට උද්ධමනය ඉලක්කගත මට්ටම වන සියයට 5 සීමාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය. ප්‍රතිපත්ති පොලී අනුපාත තීරණය කිරීම වෙනුවෙන් පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා සඳහන් කළේ, මහ බැංකු මුදල් මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය වෙනසකින් තොරව සියයට 7.75 මට්ටමේ පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.