motorcycle-dream-comes-to-an-end-tragic-death-of-18-year-old-student

යතුරුපැදි කෙරෙහි තිබූ දැඩි ඇල්ම සහ විනෝදාංශයම අවසානයේ දීප්තිමත් අනාගතයක් හිමිව සිටි තරුණ සිසුවෙකුගේ දිවි අහිමි කිරීමට හේතු වූ ශෝචනීය පුවතක් බදුරලිය, කළුගල ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ බදුරලිය, කඹුරාවල, හොරහේන පාර ලිපිනයේ පදිංචිව සිටි හසිඳු තේමිය විජේතුංග නම් 18 හැවිරිදි තරුණයෙකි.




අනතුර සිදුව ඇත්තේ පසුගිය 23 වැනිදා රාත්‍රියේ බදුරලිය - කළුගල මාර්ගයේදීය. මිතුරෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය පාලනයෙන් ගිලිහී ලිස්සා ගොස් මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ හසිඳු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, යතුරුපැදියේ පිටුපස ගමන් කළ මිතුරා ද තුවාල ලබා ඇත.

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේ තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හැදෑරු හසිඳු, දක්ෂතා පිරි දීප්තිමත් සිසුවෙකි. සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයටම සම්මාන හතක් සහිතව සමත් වී ඇති ඔහු අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ද එකසේ දස්කම් දැක්වූ අයෙකි. පාසල් ශිෂ්‍යභට කණ්ඩායම නියෝජනය කරමින් හර්මන් ලූස් කුසලානය පාසලට දිනා දීමට දායක වී ඇති ඔහු, කරාතේ සහ පිහිනුම් ක්‍රීඩාවලින් ද සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගත් දක්ෂ ක්‍රීඩකයෙකි.




ව්‍යාපාරික පවුලක වැඩිමහල් දරුවා වූ හසිඳුගේ මව වන රුවනි අබේනායක මහත්මිය තම පුතුගේ වියෝව දරාගත නොහැකිව දැඩි ශෝකයෙන් පසුවන්නීය. ඇය පවසන ආකාරයට හසිඳු යතුරුපැදිවලට පුදුම ආශාවක් දැක්වූ අයෙකි. විනෝදාංශයක් ලෙස යතුරුපැදි මිලදී ගෙන, ඒවා අලංකාර කර නැවත විකිණීම ඔහු සිදු කර ඇත. අනතුරට ලක් වූ යතුරුපැදිය ද ඔහු විසින් මිලදී ගෙන සති දෙකක් පමණ වී ඇති බවත්, අනාගතයේදී යතුරුපැදි සම්බන්ධ ව්‍යාපාරයක් කිරීමේ සිහිනයක් ඔහු තුළ තිබූ බවත් මව හඬා වැටෙමින් සිහිපත් කළාය.

දෛවයේ සරදමකට මෙන් හසිඳුගේ 18 වැනි උපන්දිනය යෙදී තිබුණේ අනතුර සිදුවීමට පෙර දිනයේ එනම් ජනවාරි 22 වැනිදා ය. උපන්දිනයට පසු දින රාත්‍රියේ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වීමට යමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට ඔහුට සිදුවිය. මිතුරන්ට ඉතා හිතවත්, අන් අයට උදව් උපකාර කිරීමට සැමවිටම ඉදිරිපත් වූ හසිඳුගේ වියෝව පාසල් මිතුරන්ට මෙන්ම මුළු ප්‍රදේශයටම දැඩි කම්පනයක් ඇති කර තිබේ.



මෙම මාරක අනතුර සම්බන්ධයෙන් බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැදිසිංහ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත, රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

motorcycle-dream-comes-to-an-end-tragic-death-of-18-year-old-student