assistant-superintendent-of-police-rohan-olugala-has-been-appointed-as-the-new-director-of-walana-central-anti-corruption-unit

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා පත් කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සිදුකර ඇති මෙම පත්වීම ලැබෙන විට ඔහු බස්නාහිර පළාත් උතුර (පෑලියගොඩ) අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි කරමින් සිටියේය.




සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීම සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ඒ මහතා, මෙරට මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද විහිදුණු සාර්ථක මෙහෙයුම් රැසක් මෙහෙයවා ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි. විශේෂයෙන්ම විදෙස් රටවල සැඟව සිටින මෙරට අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා ඔහු ලබා දුන් දායකත්වය කැපී පෙනේ.

මෑත කාලීනව නේපාලයේ සැඟව සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිනියක ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම සඳහා නායකත්වය ලබා දුන්නේ ද රොහාන් ඔලුගල මහතා විසිනි. මීට අමතරව කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත වැනි විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලියේදී ඔහු සෘජුවම මැදිහත් වී කටයුතු කළේය.




මෙම නව පත්වීමත් සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මගින් සිදුකරන වැටලීම් සහ දූෂණ මර්දන කටයුතු වඩාත් විධිමත් ලෙස ඉදිරියට ගෙනයෑමට අපේක්ෂිතය.