අධ්‍යාපන අමාත්‍යවරිය මෙන්ම අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව සමගි ජන බලවේගය (සජබ) ප්‍රමුඛ විපක්ෂය ගෙන ඒමට සූදානම්ව තිබූ විශ්වාසභංග යෝජනාව මේ වන විට දෙපාර්ශ්වයක කඹ ඇදීමක් හේතුවෙන් පසෙකට තල්ලු වී ඇති බව පක්ෂ ආරංචිමාර්ග පවසයි.
විපක්ෂයේ එක් පාර්ශ්වයක් විශ්වාසභංග යෝජනාව කඩිනමින් ගෙන ආ යුතු බවට අවධාරණය කරන අතර, තවත් පාර්ශ්වයක් එය ඉදිරිපත් කිරීමට මෙය සුදුසු කාලය නොවන බවට තර්ක කිරීම මෙම මතභේදාත්මක තත්ත්වයට හේතු වී තිබේ. මෙම තත්ත්වය හමුවේ, විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි වාර්තා වේ.
මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කළේ මොඩියුල සිද්ධිය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ විවිධ චෝදනා පදනම් කර ගනිමිනි. ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකගේ අත්සන් ද ලබාගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකයෙකුගෙන් කළ විමසීමකදී, විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තවමත් නිශ්චිත දිනයක් යොදාගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. මේ අතර, අග්‍රාමාත්‍යවරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට තීරණය කළා නම්, එය ඉදිරිපත් නොකරන්නේ මන්දැයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
අග්‍රාමාත්‍යවරියකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම බරපතළ කාරණයක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, එම යෝජනාව වහාම ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් ද කළේය. මේ අතර, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, විදේශගතව සිට හදිසියේම තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ එම විශ්වාසභංග යෝජනාවට මුහුණ දීම සඳහා බවයි.