ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් වටා ගෙතුණු නවතම වාර්තා චිත්‍රපටය බ්‍රිතාන්‍යය තුළ අන්ත අසාර්ථකත්වයකට මුහුණ දී තිබේ. ජනවාරි 30 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබෙන මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් තුළ කිසිදු උනන්දුවක් දක්නට නොලැබෙන බව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සිනමාහල් ජාලයක් වන විව් සිනමා (Vue Cinema) හි ප්‍රධාන විධායක නිලධාරී ටිම් රිචඩ්ස් සඳහන් කර ඇත.
ලන්ඩනයේ ඉස්ලිලින්ටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන සිනමා ශාලාවක පැවති මංගල දර්ශනය සඳහා අලෙවි වී තිබුණේ එක් ටිකට් පතක් පමණක් බව වාර්තා වන අතර, එදිනම සවස 6.00 දර්ශනය සඳහා වෙන්කරවාගෙන තිබුණේ ටිකට් පත් දෙකක් පමණි.බ්‍රිතාන්‍යයේ බ්ලැක්බර්න්, කාසල්ෆෝර්ඩ් සහ හැමිල්ටන් වැනි නගරවල තත්ත්වය මීටත් වඩා දරුණු වූ අතර, මෙම ප්‍රදේශවල දර්ශන වාර 28ක් සැලසුම් කර තිබුණද ඒ කිසිවක් සඳහා එකදු ටිකට් පතක් හෝ අලෙවි වී නොතිබුණි. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා නැවත ධවල මන්දිරයට පැමිණෙන ආකාරයත්, දිවුරුම් දීමට පෙර ගත වූ දින 20ක කාලයත් මෙම වාර්තා චිත්‍රපටයට ඇතුළත් වේ. ජනවාරි 24 වැනිදා ධවල මන්දිරයේදී ජනාධිපතිවරයා සහ හිතවතුන් වෙනුවෙන් මෙහි පුද්ගලික දර්ශනයක් ද පවත්වා තිබුණි.
ඇමසන් ස්ටුඩියෝස් (Amazon Studios) විසින් මෙම චිත්‍රපටයේ අයිතිය ඩොලර් මිලියන 40කට මිලදී ගෙන ඇති අතර, ගෝලීය අලෙවිකරණය සඳහා තවත් ඩොලර් මිලියන 35ක් වියදම් කර ඇත. නිෂ්පාදකයන් මෙය දැවැන්ත සාර්ථකත්වයක් ලබනු ඇතැයි අපේක්ෂා කළ අතර, ඇමෙරිකාවේ සිනමාහල් 1,400-2,000ක පමණ ප්‍රමාණයක් සහ ලොව පුරා රටවල් 27ක තිර 5,000කට අධික සංඛ්‍යාවක මෙය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබුණි. නිව්යෝක් කොටස් වෙළෙඳපොළේදී මෙම නිර්මාණය එළිදැක්වූ මෙලානියා ට්‍රම්ප් පවසා සිටියේ, 2024 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තමන්ට මෙම අදහස පහළ වූ බවත්, ප්‍රථම කාන්තාවකගේ දෘෂ්ටි කෝණයෙන් දිවුරුම් දීමට පෙර දින කිහිපය දැකබලා ගැනීමට ජනතාවට මෙයින් අවස්ථාව ලැබෙන බවත්ය.
ව්‍යාපාරික කාන්තාවක්, බිරිඳක් සහ මවක් ලෙස ඇයගේ භූමිකාව මෙන්ම පවුල නැවත ධවල මන්දිරයට ගෙන යාමේ වගකීම දරන ආකාරය මෙම නිර්මාණය හරහා පෙන්වා දෙයි. පැය දෙකකට ආසන්න කාලයක් දිවෙන මෙම චිත්‍රපටයේ එක් අවස්ථාවක ඇය කැපිටල් ගොඩනැගිල්ලේ සිට කැමරාව දෙස බලා "අපි නැවතත් මෙහි පැමිණියෙමු" යැයි පවසන දර්ශනයක් ද ඇතුළත් වේ. මෑතකදී සිදුකළ සමීක්ෂණයකට අනුව ඇමෙරිකානුවන්ගෙන් 40%ක පිරිසකට ඇය ගැන පැහැදිලි අදහසක් නොමැති වුවද, රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර ඇය ජනප්‍රිය චරිතයකි.
කෙසේ වෙතත්, මෙම වාර්තා චිත්‍රපටය වටා දැඩි ආන්දෝලනයක් ද නිර්මාණය වී තිබේ. රෝලින් ස්ටෝන් (Rolling Stone) සඟරාවේ වාර්තාවලට අනුව, නිෂ්පාදන කණ්ඩායමෙන් තුනෙන් දෙකක පමණ පිරිසක් තම නම් චිත්‍රපටයේ නාමාවලියෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත. මීට පෙර ලිංගික අතවර චෝදනා එල්ල වූ බ්‍රෙට් රැට්නර් මෙහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීම සහ ව්‍යාපෘතියේ දේශපාලන ප්‍රචාරණ ස්වභාවය ඊට හේතු වී ඇති බව පැවසේ. රූගත කිරීම් අතරතුර කාර්ය මණ්ඩලයට විවේකයක් නොමැතිව දීර්ඝ වේලාවක් වැඩ කිරීමට සිදුවූ බවටත්, අධ්‍යක්ෂවරයා සේවකයන්ට රළු ලෙස සැලකූ බවටත් චෝදනා එල්ල වී ඇත.
ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ මෙම චිත්‍රපටය හරහා මෙලානියාගේ ප්‍රතිරූපය අලුත් ආකාරයකින් ඉදිරිපත් කිරීමට උත්සාහ කර ඇති බවයි. ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ඇය, අවසරයකින් තොරව පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම අපරාධයක් බවට පත් කළ පනත සම්මත කර ගැනීමට මූලිකත්වය ගෙන තිබුණි. 1998 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට හමු වූ මෙලානියා, 2005 වසරේදී ඔහු සමඟ විවාහ වූ අතර 2006 දී ඔවුන්ගේ පුත් බැරන් ට්‍රම්ප් උපත ලැබීය. ඇය සැමවිටම තම පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධියෙන් ඈත්ව තබා ගැනීමට උත්සාහ කරන අතර දරුවන් සම්බන්ධ සමාජීය ගැටලු වෙනුවෙන් පෙනී සිටින චරිතයක් ලෙස ප්‍රකටය. චිත්‍රපටයේ ට්‍රෙලරය පහතින්