the-attorney-general-changes-the-decision-to-arrest-shani

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් නිසි පරිදි නීතිමය ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනුකර තිබූ පැමිණිලිවලට අදාළව, ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එමෙන්ම ඔහුට එරෙහිව නඩු පැවරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.




කොළඹ කොටුව සහ කුලියාපිටිය යන මහේස්ත්‍රාත් අධිකරණවල තමාට එරෙහිව ගොනුකර ඇති එම පැමිණිලි අභියෝගයට ලක් කරමින් ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම කරුණු අනාවරණය කළහ. මෙම පෙත්සම් විභාගය ප්‍රීතිපද්මන් සූරසේන සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැත්විණි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සම්පත් බණ්ඩාර යන මහත්වරුන් අධිකරණයට දන්වා සිටියේ, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් රහස් පොලිසිය පුළුල් විමර්ශනයක් සිදුකර ඇති බවයි. එම විමර්ශනවලට අනුව අබේසේකර මහතාට එරෙහිව නඩු පැවරීමට තරම් කරුණු අනාවරණය වී නොමැති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව රජයේ නීතිඥවරුන් සඳහන් කළහ.




මෙම කරුණු දැක්වීම් සලකා බැලූ අධිකරණය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පැමිණිල්ලට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය. කෙසේ වෙතත්, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දීම හේතුවෙන්, ඊට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අබේසේකර මහතා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් කුමරප්පෙරුම සහ සාලිය පීරිස් යන මහත්වරුන් සමඟ නීතිඥ තනුක නන්දසිරි මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සම්පත් බණ්ඩාර සහ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.