bangladeshi-businessman-tamim-rahman-suspended-for-dambulla-thunders-scam

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරග පාවාදීම සදහා ක්‍රීඩකයන්ට බලපෑම් කිරීමේ චෝදනාවලට වරද පිළිගත් දඹුල්ල තන්ඩරිස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දැරූ බංග්ලාදේශ ජාතික ව්‍යාපාරිකයාට රුපියල් කෝටි දෙකහමාරක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග මහතා ඊයේ (28) නියම කළේය.




විත්තිකරුට නියම කළ රුපියල් කෝටි 2 1/2කට ආසන්න දඩ මුදල නොගෙවුවහොත් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා, ඊට අමතරව වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 05ක කාලයක් දක්වා අත්හිටුවීමටද නියම කළේය. ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා දෙකකට වරද පිළිගත් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දැරු බ්‍රිතාන්‍ය පුරවරසිභාවය හිමි බංග්ලාදේශ ජාතික ව්‍යාපාරික තමීම් රහ්මාන් මහතාට මෙලෙස දඬුවම් නියම කෙරිණි.

2024 වසරේ අප්‍රේල් 19 වැනිදාත් 30 වැනිදාත් අතර කාලසීමාව තුළ දඹුල්ලේදී මුජිබර් උර් රෙහෙමාන්, බිලාල් හුසේන්, ඉක්බාල් ජාවේඞ් සහ පැමිණිල්ලේ නම නොදත් තවත් අය සමග එක්ව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා හෝ තමන්ට වාසිදායක වන අන්දමට ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා වූ චන්දිම සශ්‍රීක පිරිස් පුස්සෙගොඩ නැමත්තාට ‘තමාට නම්මා ගත හැකි ක්‍රීඩකයන් සොයා බලන්න‍් යනුවෙන් උපදෙස් දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.





2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනතේ 05 ඇ, 09 සහ දණ්ඩ නීති සංග්‍රහයේ 102 සහ 113 වගන්ති යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබේ.නඩුව කැඳවූ අවස්ථාවේදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරිත්වය දැරු විත්තිකාර බ්‍රිතාන්‍ය පුරවරසිභාවය හිමි බංග්ලාදේශ ජාතික ව්‍යාපාරික තමීම් රහ්මාන් මහතා අධිකරණයේ පෙනී සිටියේය.



විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින්, තම සේවාදායකයා අදාළ චෝදනාවලට වරද පිළිගන්නේ යැයි දැනුම් දෙමින් වරද පිළිගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට කරුණු පහදා දී ඔහුගෙන් ලබාගත් ලිඛිත අවසරය සහිත දිවුරුම් පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළව ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ විමර්ශන සඳහා සහ අන්තර් ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී.) පවත්වන ලද විමර්ශනවලට සහාය දක්වූ තම සේවාදායකයා වසර එකහමාරක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ සිටියේ යැයි පැවසූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, තම සේවාදායකයාට යළි සමාජ ගත විය හැකි අන්දමේ දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අකිලා දල්පතාදු මහත්මිය කරුණු දක්වමින්, චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුට සුදුසු දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියාය. එක් කරුණු සලකා බැලීමෙන් අනතුරුව චෝදනාවකට රුපියල් මිලියන 12 බැගින් චෝදනා දෙකට රුපියල් මිලියන 24ක දඬයක් නියම කළ විනිසුරුවරයා, දඩ මුදල් ගෙවීම සඳහා නඩුව පෙබරවාරි 26 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

ඊට අමතරව එක් චෝදනාවකට වසර 02 බැගින් චෝදනා දෙකට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර, එය වසර 05ක කාලයක් දක්වා අත්හිටුවීමටද නියම කළ විනිසුරුවරයා, දඩ මුදල් නොගෙවුවහොත් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළ විමර්ශන මෙහෙය වූ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි චානක සිල්වා මහතාගේ උපදෙස් පරිදි, එම අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුපුල් විදානගේ මහතා පෙනී සිටියේය.