මෙරට රබර් අපනයන ක්ෂේත්‍රයේ දැවැන්ත නාමයක් හිමි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් තම නිවසේ දරුවන් බලාගැනීම සඳහා සේවයට යොදවා සිටි කාන්තාවක අමානුෂික ලෙස නිරුවත් කර, එම දර්ශන වීඩියෝ ගත කොට සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ පුවතක් පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.
මෙම සිදුවීම වාර්තා වන්නේ කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන 43 හැවිරිදි මොහොමඩ් කමර්ඩීන් සස්මි නමැත්තා සම්බන්ධයෙනි. මොහු මෙරට ප්‍රමුඛ පෙළේ රබර් අපනයන සමාගමක හිමිකරු ලෙසද කටයුතු කරයි. මොහු විසින් තම නිවසේ සේවය කළ කාන්තාවක අමානුෂික ලිංගික හිංසනයට ලක් කර, ඇයව බිය ගන්වා බලහත්කාරයෙන් නිරුවත් කරන ආකාරය ඇතුළත් වීඩියෝ පටයක් 'වට්ස්ඇප්' (WhatsApp) ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා සංසරණය වී මහත් කැළඹීමක් ඇති වූ අතර, කාන්තා අයිතිවාසිකම් සහ මානව හිමිකම් පිළිබඳ බරපතළ ගැටලුවක් ලෙස බලධාරීන් වෙත ගොස් තිබුණි.
සිද්ධිය සමාජගත වීමත් සමඟ සැකකාර ව්‍යාපාරිකයා තම නිවසින් පළා ගොස් සැඟව සිටීමට උත්සාහ කර තිබුණි. පොලිස් විමර්ශන මග හරිමින් ප්‍රසිද්ධ හෝටල් කිහිපයක නවාතැන් ගනිමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත විශේෂ විමර්ශනයක් දියත් කෙරිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් හා නියෝග පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී, හික්කඩුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සැඟව සිටියදී මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය. ප්‍රධාන සැකකරුට අමතරව ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සහ පොලීසියට සාක්ෂි වසන් කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රසීඩ් සහ මොහොමඩ් හනිපා යන 44 සහ 55 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නීතිඥ වසන්ත පිටියකුඹුර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අපරාධයේ බරපතළ ස්වභාවය පෙන්වා දුන්නේය. පොලීසිය පවසා සිටි ආකාරයට, 43 හැවිරිදි මෙම කෝටිපති ව්‍යාපාරිකයා තම දරුවන් බලා ගැනීම සඳහා නිවසේ නතර වී සිටි අහිංසක සේවිකාවට මරණීය තර්ජනය කරමින් මෙම අමානුෂික ලිංගික හිංසනය සිදු කර ඇත. විශේෂයෙන්ම මෙම ක්‍රියාව සිදුකරන අවස්ථාවේදී අදාළ කාන්තාව "අනේ සර් වඳින්නම් මේ දේ කරන්න එපා" යැයි ඉතා දීන ලෙස ආයාචනා කරද්දී පවා, කිසිදු අනුකම්පාවකින් තොරව සාහසික අන්දමින් ඇයව නිරුවත් කර වීඩියෝ ගත කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය තවත් පිරිසක් ඉදිරියේ ප්‍රසිද්ධියේ සිදු කර ඇති බවත්, එය ඉතා නින්දිත සහ අශීලාචාර ක්‍රියාවක් බවත් පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අපරාධය හුදෙක් එක් කාන්තාවකට පමණක් සීමා නොවූවක් බවට ද මේ වන විට කරුණු අනාවරණය වෙමින් පවතී. සැකකරු විසින් මීට පෙරද මෙවැනිම ආකාරයෙන් තවත් කාන්තාවන් කිහිප දෙනෙකුට ලිංගික හිංසන සිදු කර, ඔවුන්ව නිරුවත් කර වීඩියෝ ගත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේය. එසේම අදාළ නිරුවත් දර්ශන සැකකරු විසින් ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන තවත් කාන්තාවන් කිහිප දෙනෙකු වෙතද වට්ස්ඇප් මාර්ගයෙන් යවා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙම වීඩියෝ දර්ශන පටිගත කිරීමට යොදාගත් ජංගම දුරකථන සහ අයිපෑඩ් උපාංග පොලිසිය භාරයට ගෙන තිබුණද, ඒවායේ දත්ත පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය මුරපද (Passwords) ලබා දීම සැකකරු විසින් මේ දක්වා ප්‍රතික්ෂේප කර ඇති බවද සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට පැවසීය. මෙය විමර්ශන කටයුතුවලට බාධා කිරීමක් බව පෙන්වා දුන් පොලිසිය, මුරපද ලබා නොදීම තුළින් ඔහු තවදුරටත් සාක්ෂි වසන් කිරීමට උත්සාහ කරන බව පෙනී යන බව කියා සිටියේය.
මෙම සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන් වන්නේ සැකකරුගේම නිවසේ හෝ ව්‍යාපාරයේ සේවය කරන සේවකයන් බැවින්, සැකකරුට ඇප ලබා දුනහොත් ඔහු සිය ධන බලය සහ නිල බලය යොදාගෙන සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවට පොලිසිය දැඩි ලෙස විරෝධය පළ කළේය. අතීතයේදී ද මොහු නීතියෙන් රිංගා යෑමට විවිධ උපායන් භාවිතා කර ඇති බවට සැකකෙරෙන තොරතුරු පවතින බැවින්, විමර්ශන අවසන් වන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බන්දුල දිසානායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම හුදු සැකයක් මත පමණක් සිදු කර ඇති බවයි. අදාළ සිදුවීම බලහත්කාරයෙන් සිදු වූවක් නොවන බවත්, එය වින්දිත කාන්තාවගේ කැමැත්ත ඇතිව සිදු වූවක් බවත් විත්තියේ නීතිඥවරයා තර්ක කළේය. දරුවන් බලාගන්නා කාන්තාව කිසිවක් නොපවසා නිවසින් පිටව ගොස් ඇති බවත්, තම සේවාදායකයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බැවින් ඔහු අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම කුමන්ත්‍රණය සිදු කර ඇති බවට හැඟී යන බවත් නීතිඥවරයා පවසා සිටියේය. එසේම සැකකරු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙකු බවත්, ඔහු ජාතික රෝහලේ 59 වන වාට්ටුවෙන් ප්‍රතිකාර ලබන බවත් අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරුට යම් ආතතියක් දරා ගැනීමේ හැකියාවක් නොමැති බවත්, ක්ෂණයකින් කෝප වන ස්වභාවයක් ඇති බවත් පැවසූ නීතිඥවරයා, මුරපද ලබා දීම පසුවට සිදු කරන බව දන්වා සිටියේය. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥවරයා පැවසුවේ දෙවැනි සැකකරු ප්‍රධාන සැකකරුගේ පියාගේ සහෝදරයෙකු බවත්, තෙවැනි සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් කිසිත් නොදන්නා අයෙකු බවත්ය.
කෙසේ වෙතත්, දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනාම ලබන 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, ප්‍රධාන සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා ඔහු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.
මේ අතර, සැකකරුගේ පවුල් පසුබිම සහ අතීත ක්‍රියාකලාපය පිළිබඳව ද බරපතළ සැක සහිත කරුණු රැසක් මාධ්‍ය වෙත වාර්තා වී තිබේ. සැකකරුගේ පියා වන එම්.ටී.එම්. කමර්ඩීන් මහතා ද මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ අතර, ඔහු 2016 වසරේදී නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබුණි. කෙසේ වෙතත්, වත්මන් සිද්ධියට අදාළ සැකකරු බීමත් අවස්ථාවකදී, දේපළ ලබා ගැනීම සඳහා තමන් විසින් තම පියාව ඝාතනය කළ බවට පවසා ඇති බවට තොරතුරු වාර්තා වේ. "මම මගේ තාත්තව මැරුවා, උඹලව මරන්න මට කිසිම බයක් නෑ," යනුවෙන් ඔහු අසල සිටි පුද්ගලයන්ට තර්ජනය කර ඇති බවට ද චෝදනා එල්ල වී ඇත. මෙම ප්‍රකාශයත් සමඟ ඔහුගේ පියාගේ මරණය ස්වාභාවික මරණයක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳව ද අලුතින් සැකයක් මතුව තිබේ.
කාන්තාව සම්බන්ධ අපරාධය සඳහා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලීසිය සමත් වූ අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පෙබරවාරි මස 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා අද 19 වැනිදා නියෝග කළේය.
